Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th March 2022 18:28:57 Hours

ඉන්දීය නාවික හමුදාවේ බටහිර බලඇණියේ අණදෙන නිලධාරී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

මේ දිනවල කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ඉන්දීය නාවික හමුදාවේ නවතම මිසයිල විනාශකාරී නෞකාවක් වන චෙන්නායි INS නෞකාවේ බටහිර බලඇණියේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා (Rear Admiral Sameer Saxena) බ්‍රහස්පතින්දා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, දෙරටේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර පවත්නා ද්විපාර්ශවික ආරක්‍ෂක සහයෝගීතාව සහ මිත්‍රශීලි සබඳතා පිළිබඳ අවධානය යොමු කරමින් කරුණු සාකච්ඡා කෙරිණි.

ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සිය සුබපැතුම් එක් කල ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුවේදී රියර් අද්මිරාල් සමීර් සක්සේනා (Rear Admiral Sameer Saxena) මෙරටට පැමිණිම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය.

“මත්ද්‍රව්‍ය සහ මත්කුඩු ජාවාරම් වැලැක්වීම සඳහා ඉන්දීය නාවික හමුදාව අඛණ්ඩව සාගරයේ සිදුකරනු ලබන නිරීක්‍ෂණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සඳහා විශාල සහයෝගයක් ලබාදෙන අතර එවැනි සහයෝගීතා කලාපයේ අසල්වැසියන් ලෙස අපගේ අවබෝධය සහ සුහදතාවය තවදුරටත් ශක්තිමත් කරයි. අප සමඟ සමීපව සම්බන්ධ වී සිටින ඉන්දීය වෙරළාරක්‍ෂක බලඇණිය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සියලු සහය පිළිබඳව ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන්ට සහ ඔබේ දක්‍ෂිණ විධානයට මාගේ ඉහළම ගෞරවය සහ අවංක කෘතඥතාව පුද කරමි.” යනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුවේදී පැවසීය.

“එපමණක් නොව, ඉන්දිය නාවික හමුදාවේ සහාය ඇතිව දියත් කරන ලද නිරන්තර සමුද්‍ර මෙහෙයුම් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ගේ ආරක්‍ෂව සුරක්‍ෂිත කරනු ඇත. දශක තුනකට වැඩි කාලයක් පුරා පැවති ත්‍රස්තවාදී ගැටලුව උග්‍ර වූ අවස්ථාවේදී ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය අපට අමතක කළ නොහැක. සමරහවිට ශ්‍රී ලංකාව ත්‍රස්තවාදීන් සමඟ සටන් කරන විට ඔබ තරුණ නිලධාරියෙකු වන්නට ඇත. ධීවර ප්‍රජාවන් හා සම්බන්ධ පුළුල් අවබෝධයකින් සහ නිවැරදි ප්‍රවේශයකින් යුතුව එම ගැටලුවලින් සමහරක් බැහැර වී ඇතත්, පවතින සුළු සිද්ධීන් සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමට ද ඔබ ඇතුළු ඉන්දීය නාවික හමුදාවේ සහයෝගය අවශ්‍ය වන බව මම විශ්වාස කරමි” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

“දෙරට නාවික හමුදාවන් අතර ‘ගාලු කතිකාවක්’ (Galle Dialog) ඇතුළු ද්විපාර්ශවික නාවික අභ්‍යාස පවත්වමින් ඉන්දීය නාවික හමුදාව සමඟ ශ්‍රී ලංකා නාවික හමුදා සමීපතම මීතුරෙකු වී ඇත, ඒ පිළිබඳ මා ඉන්දීය නාවික හමුදාවට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.” යනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදි තවදුරටත් පැවසීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය කෘතඥතාවය පුද කළ රියර් අද්මිරාල් සමීර් සක්සේනා (Rear Admiral Sameer Saxena) ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ඉන්දීයාවේ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදෙන බවට මෙහිදි පැවසීය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් බොහෝ දෙනෙකු ඉන්දිය හමුදා සාමාජිකයින් සමඟ ගොඩනඟා ගත් සුහදත්වය සහ අන්‍යෝන්‍ය සබඳතා පිළිබඳව ද මෙම හමුවේදී රියර් අද්මිරාල් සමීර් සක්සේනා සිහිපත් කළේය.

මීට කලකට පෙර ශ්‍රී ලංකා නැව් තටාකාංගණයේ නිෂ්පාදනය කරන ලද මුහුදුබඩ යාත්‍රා භාවිතය පිළිබඳව සිහිපත් කළ රියර් අද්මිරාල් සමීර් සක්සේනා, ඒවායින් සමහරක් තවමත් භාවිතයේ පවතින බැවින් එම යාත්‍රා නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කරන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් මෙහිදි ඉල්ලා සිටියේය.

ඉන්දීය නාවික හමුදාවේ කීර්තිමත් නාවික සහ දිශානති විශේෂඥයෙකු වන අද්මිරාල් සමීර් සක්සේනා, ඉන්දීය නාවික හමුදාවේ ප්‍රධාන තනතරු රැසක් හොබවා ඇත.

මෙම සුහද හමුවේදී, රියර් අද්මිරාල් සමීර් සක්සේනා දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතා පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ට ප්‍රකාශ කළේය. මෙම සුහද හමුව අවසානයේ, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් රියර් අද්මිරාල් සමීර් සක්සේනා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් අශෝක් රාඕ (Captain Ashok Rao) ද සහභාගී විය.

රියර් අද්මිරාල් සමීර් සක්සේනා විසින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ විදේශ අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදාපතිතුමන් හමුවීමට නියමිතව ඇත.