Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2022 18:57:58 Hours

විරෝදාර රණවිරු දු පුතුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

68 වන සේනාංකය යටතේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන්ගේ සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල දරු දැරියන් 207 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ ‘රණවිරු අභිනන්දන පූජා - 2022’ ප්‍රජා සත්කාරක වැඩසටහන ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින පැවැත්විණි.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා, විද්‍යාර්ථ විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් සමඟ එක්ව අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

තම සමීපතමයන්ගෙන් ඈත්ව යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක කාර්යමණ්ඩලය සිදුකරනු ලබන අප්‍රතිහත සේවය පැසසුමට ලක් කරමින් අනුග්‍රාහකභවතුන් විසින් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල අධ්‍යාපනය හදාරණ දරු දැරියන් වෙනුවෙන් මෙම පරිත්‍යාග සිදුකරන ලදී.

68 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවක කාර්යමණ්ඩලයේ දරු දැරියන්ට මෙලෙස පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මහඟු පිටුවහලක් වනු ඇත.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර, 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩි.පී. ගුණතුංග, 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්ති ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු විසින් සිදුකරන ලදී.