Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2022 21:05:00 Hours

ඉන්දු- ශ්‍රී ලංකා සහයෝගීතා වැඩසටහනට සමගාමීව කෘත්‍රිම අත් පා 430 ක් නිෂ්පාදනය කෙරේ

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව ඉන්දියාවේ ජායිපූර්හි පිහිටි ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුව (Shree Bhagwan Mahaveer Viklang Sahayata Samiti) විසින් ත්‍රිවිධ හමුදාවේ ආබාධිත රණවිරුවන්, පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහා කෘත්‍රිම අත් පා නිෂ්පාදනය කිරීමේ පුරා දින 35 ක වැඩමුළුවක් රාගම රණවිරු සෙවණේදී පවත්වන ලදී.

එහි සමාප්ති උත්සවය ඉකුත් සඳුදා (07) දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාදීර (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිණිය, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් විකාස් සුඩ් (Captain Vikas Sood), ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින්, ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුවේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින්, රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීම පරිදි ඉන්දියාවේ 75 වන නිදහස් සංවත්සරයට සහ ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගොපාල් බග්ලේ මහතා (His Excellency Gopal Baglay) විසින් ලබාදුන් අනුග්‍රහය මත ලොව හොඳම සුප්‍රසිද්ධ ‘ජායිපූර් කෘත්‍රිම අත්පා’ නිෂ්පාදකයෙකු ලෙස වර්ෂ 1975 දී ජායිපූර් ප්‍රදේශය පදනම් කරගනිමින් ආරම්භ කරන ලද ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුව, මීට දින 35 කට පෙර ආරම්භ කරන ලද මෙම කෘත්‍රිම අත්පා නිෂ්පාදනය කිරීමේ කඳවුර තුලින් ත්‍රිවිධ හමුදා රණවිරුවන්, පොලිස් නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල ආබාධිත සාමාජිකයින්ට ප්‍රතිලාභ හිමිවූහ.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතිය අතිවිශිෂ්ඨ ලෙස සාර්ථක කරගැනීමට මුලිකත්වය ගෙන කටයුතු කළ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) සමාප්ති උත්සවය අමතමින් මේ සඳහා සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත සිය ස්තූතිය පුද කළේය.

මෙහිදී, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් උත්සවය අමතමින් ලොව පුරා ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුව සිදුකරනු ලබන කාර්යභාර්ය පැසසුමට ලක් කළේය. එසේම, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් විකාස් සුඩ් (Captain Vikas Sood) විසින් සිදුකල දේශනයේදී දෙරට අතර පවත්නා අන්‍යෝන්‍ය වැඩසටහන් සහ සුහදත්වය සිහිපත් කළේය. ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුවේ නිලධාරින් විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලුදෙනාට මෙහිදි සිය ස්තූතිය පිරිනැමුවේය.

ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුවේ නිලධාරින් ශ්‍රී ලංකාවේ රැඳී සිටි දින 35 ක කාලය තුළ, ආබාධිත රණවිරුවන්, පොලිස් නිලධාරින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා කෘත්‍රීම අත් පා 430 ක් නිෂ්පාදනය කිරීමට සමත් විය. ඒ අනුව, යුද්ධ හමුදා සෙබළුන් 261 දෙනෙකු, නාවික හමුදා සෙබළුන් 4 දෙනෙකු, ගුවන් හමුදා සෙබළුන් 19 දෙනෙකු, පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 73 දෙනෙකු, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පවුල්වල සාමාජිකයින් 43 දෙනෙකු සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 30 දෙනෙකු එම කෘත්‍රිම අත් පා ලබාගත් ප්‍රතිලාභීන් අතර වූහ.

ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය කමිටුවේ තාක්‍ෂණික ප්‍රවීණයන් ශ්‍රී ලංකාවේ රැඳි සිට කරන ලද උදාර සේවය අගය කරමින් මෙම සමාප්ති උත්සවය අතරතුරදී සමරු තිළිණ සහ සහතික පත් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ සුරතින් පිරිනැමුවේය. මෙම උත්සවයේ සමාප්ති දේශනය රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) විසින් සිදුකළේය. ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සහභාගි වු සම්භාවනීය ආරාධිතයින් රණවිරු සේවා අධිකාරියේ ක්‍ෂේත්‍ර වැඩමුළුව නැරඹීමට ද එක්වූහ.