Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2022 08:53:34 Hours

සඳහිරු සෑ රඳුන් අභිමුව අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කෙරේ

අනුරාධපුරයේ ඉදිකල සඳහිරු සෑ චෛත්‍යරාජ්‍යාණන් වහන්සේගේ සලපතනමළුව වටා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඉකුත් සෙනසුරාදා (05) දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට වැඩම කල අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහිරු සෑ චෛත්‍යරාජ්‍යාණන් වහන්සේ අභිමුව තැන්පත් කිරීමේ අවස්ථාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමගින් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, නාවික හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් එක්වුහ.

මෙම අවස්ථාවට වැඩමවා වඳාල මහා සංඝරත්නය විසින් අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමත් සමඟ අටවිසි බුද්ධ පූජා, බෝධි වන්දනා ඇතුළු ආගමික වතාවත් සිදුකරමින් මෙම අවස්ථාවට ආශිර්වාද එක් කළහ.

මෙම උත්සවය අතරතුරදී, සඳහිරු සෑ චෛත්‍යරාජ්‍යාණන් වහන්සේ අභිමුව නවතමයෙන් ඉදිකල බුද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා බැතිමතුන්ට වන්දනා මනා කිරීම සඳහා නිරාවරණය කෙරිණි.

මෙම උත්සවයට අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනාවාස හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ආරාධිතයින් සහ බැතිමතුන් 300 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම උත්සවය අතරතුරදී, නා උයන ආරණ්‍ය සේනාසනයේ මහා නායක පූජ්‍ය අඟුල්ගමුවේ ආරියනන්ද හිමිපාණන් විසින් අනුශාසනාවක් සිදුකරන ලදී.

රටට සාමය උදාකිරීමට දායකත්ව ලබාදුන් සියලුදෙනා සිහිපත් කරමින් සඳහිරු මහා සෑ රඳුන් ඉදිකිරීමේ වැදගත්කම සහ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පිළිබඳව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් විසින් මෙහිදි අනුශාසනාවක් සිදුකරමින් රැස්ව සිටි සැදැහැවත් බැතිමතුන් දැනුවත් කළහ.

සඳහිරු සෑ චෛත්‍යරාජ්‍යාණන් වහන්සේ මීට මාස කිහිපයකට පෙර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ගෞරවනීය උත්සවයකදී ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජා කරන ලදී.

සඳහිරු සෑ චෛත්‍යරාජ්‍යාණන් වහන්සේ අභිමුව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ උත්සවයෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි අතිගරු ජනාධිපතිතුමන් ද අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබාගත්හ.

අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ අවස්ථාවට වැඩමවා වඳාල මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍යවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල්, රාජ්‍ය නිලධාරින් සහ බැතිමතුන් පිරිසක් සහභාගි වුහ.