Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2022 08:41:47 Hours

මිරිසවැටිය විහාරස්ථානයේ පැවති පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනකට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

මිරිසවැටිය විහාරාධිකාරි මෙන්ම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් විසින් සංවිධානය කල අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන්ට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනකට අනුරාධපුර සඳහිරු සෑ චෛත්‍යරාජ්‍යාණන් වහන්සේ අභිමුව පැවති ආගමික වැඩසටහනට එක්වු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය සහභාගි වූහ.

පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව EW Information Systems පුද්ගලික සමාගම විසින් එම ප්‍රදේශයෙන් තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් දරු දැරියන් 1000 කට මෙලෙස පාසල් උපකරණ බෙදාදීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

මෙලෙස තෝරාගත් සෑම දරු දැරියකටම පාසල් බෑගයක් සහ පොත්, පෑන්, පැන්සල්, කවකටු පෙට්ටි ඇතුළු පාසල් උපකරණ කට්ටලයක් හිමිවු අතර ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වලට වියලි සලාක පාර්සල් සහ ත්‍යාග වවුචර් ද මෙහිදි පිරිනැමුහ.

මීට අමතරව, මෙම උත්සවයට සහභාගි වු සියලුදෙනාට අනුග්‍රාහකභවතුන් විසින් දිවා ආහාරය ද පිරිනැමුවේය.

මිරිසවැටිය විහාරාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කල මෙම උත්සවයට පරිත්‍යාගශීලි EW Information Systems පුද්ගලික සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක මහතා සහ එතුමන්ගේ භාර්යාව වන රොසානේ විජේනායක මහත්මිය සහභාගි වු අතර EW Information Systems පුද්ගලික සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද එම අවස්ථාවට සහභාගි වුහ.

මෙම උත්සවයට සහභාගි වු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණියගේ සුරතින් තෝරාගත් පාසල් දරු දැරියන් අතර මෙලෙස පාසල් උපකරණ බෙදාදුන්හ.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් අණ්ඩුකාර ගරු මහිපාල හේරත් මැතිතුමන්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශේහාන් සේමසිංහ මැතිතුමන්, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, දෙමාපියන් සහ පාසල් දරු දැරියන් සහභාගි වුහ.