Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2022 21:54:59 Hours

තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයේ මහසභා රැස්වීමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිගේ සුබපැතුම්

තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයේ 16 වන මහසභා රැස්වීම පසුගියදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී (Hotel Grand Monarch) පැවැත්විණි. එම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයේ සාමාජිකාවන් සහභාගී වූහ.

පසුගිය කාලයේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සමග එක්ව සීදූව ප්‍රදේශයේ දැවැන්ත කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා සක්‍රීයව දායකත්වය දැක්වූ තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකාවන් විසින් මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

සමාජයේ ආර්ථික අපහසුතා ඇති ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට සහ විවිධ ගැටළු සඳහා විසඳුම් ලබාදීමට තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකාවන් විසින් දැක්වූ දායකත්වය මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළේය.

මෙම රැස්වීමේ ප්‍රධාන සැසිවාරය අවසානයේ තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකාවන් විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය වෙත සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබූ අතර එම දෙපළ විසින් තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකාවන් වෙත ද සමරු තිළිණ ප්‍රදානයක් සිදුකරන ලදී.

සමාජ සේවා අංශයක් වන තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයේ සාමාජිකාවන් විසින් සමාජයේ අවශ්‍යතා සහිත අංශයන්හී සුබසාධනය ඉලක්ක කරගත් සමාජ සේවා ව්‍යාපෘති මාලාවක් අඛණ්ඩව සහ සාර්ථකව සිදුකරනු ලබයි. තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශය ලාභ නොලබන සංවිධාන සහ සමාජ සුභසාධනය අරමුණු කරගත් නියෝජිත ආයතන සඳහා අරමුදල් සම්පාදනය කරනු ලබන අතර මෙම ආයතනය මඟින් ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය, ප්‍රජා සංවර්ධනය සහ දරිද්‍රතාවය පිටුදැකීමේ කාර්යභාරය වෙනුවෙන් සිය දායකත්වය ප්‍රතිපාදන මඟින් සපයනු ලබයි.

තවද, විශේෂ අවශ්‍යතා සහිත අයවළුන්ගේ නිවාස යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනු ලබන ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශය කැපවීමෙන් කටයුතු කරනු ලබයි. අධ්‍යාපනික පසුබිම සංවර්ධනය කිරීම තුලින් සමාජයේ තරුණ ප්‍රජාවේ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සාක්‍ෂාත් කරගැනීම සඳහා දායකත්වය ලබාදීම තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යයක් වේ. ඒ අනුව, තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍රයේ අධ්‍යාපනික වැඩසටහන් ද දියත් කිරීම මෙහිදී ඔවුන් දක්වන සුවිශේෂී දායකත්වයකි.

මෙම රැස්වීම අමතමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ;

තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ සභාපතිනි, සාමාජිකාවන්, ආරාධිතයන් ඇතුළු නෝනාවරුනි සහ මහත්වරුනි

සුබ සන්ධ්‍යාවක් වේවා!

මෙම සන්ධ්‍යාවේ තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයේ වාර්ෂික මහසභා රැස්වීම අමතමින් වචන කිහිපයක් කතා කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳ මා අතිශයින් සතුටු වෙමි. ප්‍රථමයෙන්, මෙම අවස්ථාවට මගේ බිරිඳට සහ මා හට ආරාධනා කිරීම පිළිබඳ සංවිධායක කමිටුවට සහ ෂෙහානි මහත්මියට මා ස්තූතිවන්ත වෙමි.

තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සමඟ එක්ව ශ්‍රී ලාංකිකයින් වෙත සුරක්‍ෂිත සහ සාමකාමී ජීවිතයක් ලබාදීමට නොමසුරුව දායකත්වයක් දක්වන සංවිධානයන්ගෙන් එකකි. මාගේ දැනුවත් කිරීම් අනුව ඇතැම් සත්කාරක කාර්යයන් සඳහා ඔබ ආයතනය දක්වන අගනා ප්‍රතිචාරයන් මාගේ ප්‍රශංසාවට නිරන්තරයෙන් භාජනය වන්නකි.

ඒ අනුව, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිනුම් තටාකයක් ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඔබ විසින් දක්වන දායකත්වය ඇගයීමට කැමැත්තෙමි. සීදූව ප්‍රදේශයේ දැවැන්ත කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සහ එම මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ලබාදුන් දැවැන්ත දායකත්වය වෙනුවෙන් තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයට මාගේ ඉහලම කෘතඥතාව පුද කළ යුතුයි. ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ජීවිත රැසක් බේරා ගැනීමට ඔබගේ දායකත්වය බොහෝ සෙයින් අවශ්‍ය වූ කාල වකවානුවක ඔබ ඒ වෙනුවෙන් ඉමහත් දායකත්වයක් ලබාදෙන ලදී.

එවැනි කර්තව්‍යයන් සඳහා ඔබ ඉදිරිපත් වීම මුදලට වඩා වටිනා බව මා විශ්වාස කරමි. එය ශ්‍රී ලාංකීය පුරවැසියන්, අන් අයවළුන්ගේ ජීවිතවලට සහ පුද්ගලික අවශ්‍යතාවලින් ඔබ්බට රටක් ලෙස යහපත් අනාගතයක් ගොඩනැංවීම සඳහා සිදුකළ කැපකිරීමකි. ඉදිරියේදීත් තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයට එවැනි කටයුතුවල නිරත වීමට නව ක්‍රමෝපායන් නිර්මාණය කරනු ඇතැයි මා විශ්වාස කරමි.

මෙම වර්ෂයේ, වාර්ෂික මහසභා රැස්වීම තුලින් නව නිලධාරී මණ්ඩලයක් පත් කරමින් සමාජ ප්‍රවර්ධනය වෙනුවෙන් නව උපාය මාර්ග, නව ව්‍යාපෘති නිර්මාණය කරමින් ඉදිරි වර්ෂයේදීත් ශ්‍රී ලාංකිකයින්ට සේවය කිරීම සඳහා නව සැලසුම් නිර්මාණය කිරීමට මංපෙත් විවර කරදෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

නෝනාවරුනි, මහත්වරුනි

තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කාන්තා අංශයට සහ එහි නව නිලධාරිනියන්ට සුබපැතුම් පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නා අතර ප්‍රජා මූලික ආයතනයක් ලෙස තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ කීර්තිය, ගෞරවය සහ විශිෂ්ඨත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ එහි ප්‍රවර්ධනයට කටයුතු කරනු ඇතැයි මා අවංකවම විශ්වාස කරමි. තවද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලෙස කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියේ උච්චතම අවස්ථාව වන විට එය අප සැමට දුෂ්කර කාලයක් වූ අතර ඔබ අප සමඟ කටයුතු කිරීම පිළිබඳ තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයට මා ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. අප ඉදිරියේ ඇත්තේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයකි; මේ රට යහපත් රටක් බවට පත්කිරීමට තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලය සිය කාර්යභාරය අඛණ්ඩව ඉදිරියටත් සිදුකරනු ඇතැයි මා විශ්වාස කරමි.

එබැවින්, එම කටයුතු අඛණ්ඩව පවත්වාගනිමින් ඉදිරි පරම්පරාවන් සඳහා සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට කැපවන ලෙස ඔබ සැමට මා ආරාධනා කරමි. අවසාන වශයෙන්, එළඹෙන කාලය තුළ තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ට සෞඛ්‍යාරක්‍ෂිත, ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි. මෙම සන්ධ්‍යාව වාසනාවන්ත හා සුන්දර රාත්‍රියක් වේවා!