Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2022 14:31:18 Hours

ජාතික වෙසක් උත්සවය පැවැත්වීම සඳහා කූරගල විහාරස්ථානයේ ඇති සූදානම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

දීර්ඝ කාලයක් අළුත්වැඩියා කටයුතු සිදුකර නොතිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ක්‍රිස්තු පූර්ව 2 වන සියවසට අයත් බලංගොඩ පූරගල රජමහා විහාරස්ථානය හෙවත් කූරගල ලෙන් ආශ්‍රමය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ද හොබවන ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත මෙවර ජාතික වෙසක් උත්සවය මෙම පෞරාණික විහාරස්ථාන පරිශ්‍රයේ පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් 2015 වර්ෂයේ ආරක්‍ෂක ලේකම් ධූරය හොබවන සමයේ එම ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදී මෙම ප්‍රාග් ඓතිහාසික විහාරස්ථානය පිළිබඳ අවධානය යොමු වූ අතර එතුමන් ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව මෙම පුදබිමේ සංවර්ධන කටයුතු ඉතා ඕනෑකමින් සොයාබලා ඉටුකිරීමට ක්‍රියාකරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් හා කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ මාර්ගෝපදේශ මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ අධීක්‍ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් මෙම පෞරාණික විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා සිය තාක්‍ෂණික කුසලතා සහ ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබයි. ඒ සඳහා එම ප්‍රදේශයේ බෞද්ධ සහ අන්‍යාගමික බැතිමතුන් රැසකගේ සහයෝගය ද හිමි වේ.

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට පෙර එම විහාරස්ථාන පරිශ්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කූරගල විහාරස්ථානයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී, විහාරස්ථාන පරිශ්‍රයේ පුනර්ජීවය සහ සංවර්ධන කටයුතු සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී බැතිබර දායකත්වය ලබාදෙනු ලබන සිය ගණනක් වූ බැතිමතුන්ගේ සහයෝගය මත සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු එතුමන්ගේ නිරීක්‍ෂණයට ලක්විය.

සංචාරයේ නිරත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම විහාරස්ථාන පරිශ්‍රය වෙත පැමිණිමෙන් අනතුරුව, ක්‍රිස්තු පූර්ව 2 සහ 3 සියවස් වලට අයත් ඉතිහාස පුරාවෘත්තයන් සාක්‍ෂි සපයන බෞද්ධ විහාරස්ථාන සංස්කෘතියේ නටඹුන් ලෙස ශේෂව පවතින චෛත්‍යයන්හී පුරාවිද්‍යාත්මක වටිනාකම් සංරක්‍ෂණය වන අයුරින් සිදුකරන ආකාස චෛත්‍යය නම් දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළුව සිදුකෙරෙමින් පවතින අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සමීපව නිරීක්‍ෂණය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන් සමඟින් සිදුකළ කෙටි පිළිසඳරකදී විහාරස්ථානයේ සිදුකිරීමට ඉතිරිව ඇති අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ දැනුවත් විය. ඉන් අනතුරුව, විහාරස්ථානයේ ඉපැරණි ගල් කැටයම් හා නටඹුන් සංරක්‍ෂණය කරමින් ඉදිවෙමින් පවතින භික්‍ෂූන් වහන්සේලාගේ ආවාස ගේ, මාර්ග පද්ධතීන්, දිය අගල් සහ චෛත්‍ය නැරඹීමට ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කළේය.

එම සංචාරයෙන් අනතුරුව, විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ස්වෙච්ඡාවෙන් දායකත්වය දක්වන අයවළුන් සහ වන්දනාමාන කටයුතු සඳහා පැමිණි පුද්ගලයින් සහ දරු දැරියන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැප වී කටයුතු කරනු ලබන යුද්ධ හමුදා භටපිරිස් සමඟ ද අදහස් හුවමාරු කරගත්තේය.

ශ්‍රී පාද කඳුවැටියෙන් බැස එන ජල මූලාශ්‍රවලින් සමන්විත කල්තොට ප්‍රදේශය කූරගල විහාරස්ථානයේ වැඩවාසය කරනු ලබන භික්‍ෂූන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් සහ එළවළු නිෂ්පාදන ව්‍යාපෘතීන් ස්වයංපෝෂිත කිරීමට ද අපේක්‍ෂා කෙරේ.