Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2022 13:57:00 Hours

අතිගරු ජනාධිපතිතුමන් සඳ හිරු සෑය වැඳපුදා ආශිර්වාද ලබාගනී

මව්බිමේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කරමින් අනුරාධපුරයේ ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ සලපතනමළුව වටා නවතමයෙන් තැන්පත් කල අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඳපුදා ආශිර්වාද ලබාගැනීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යාව සෙනසුරාදා (5) දින ඓතිහාසික සඳ හිරු සෑ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ අභියසට පැමිණියේය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණිය විසින් මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් සහ ජනාධිපති ආර්යාව උණුසුම් අයුරින් පිළිගත්හ.

සඳ හිරු සෑ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ වටා නවතමයෙන් තැන්පත් කල අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා මැල්සිරිපුර ප්‍රදේශයේ සිට වර්ණවත් පෙරහැරකින් ඉකුත් සිකුරාදා (4) දින වැඩම කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන් චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ අභියස නවතමයෙන් ඉදිකල බුද්ධ මන්දිරය ද වැදපුදා ආශිර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු, රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ඇතුළු තවත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.