Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2022 08:24:58 Hours

ද්විපාර්ශවික හමුදාමය සහයෝගිතාවය ප්‍රවර්ධනය කරමින් ඉන්දු-ශ්‍රී ලංකා යුද්ධ හමුදා අතර සාකච්ඡාවක්

ඉන්දු-ශ්‍රී ලංකා යුද්ධ හමුදා අතර දිනෙන් දින වර්ධනය වන ද්විපාර්ශවික හමුදාමය සහයෝගිතාවය සහ සුහදත්වය ප්‍රදර්ශනය කරමින් පෙරබරවාරි මස 10 දින සිට 12 දින දක්වා පූනේ හි පිහිටි ඉන්දීය හමුදාවේ පැරණිතම දක්‍ෂිණ විධාන මූලස්ථානයේදී 9 වන වරටත් වාර්ෂිකව පවත්වනු ලැබු ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවට එක්වු ශ්‍රී ලංකා නියෝජිත පිරිස එම සාකච්ඡාවේ ප්‍රතිඵලය, ඵලදායිතාවය සහ ද්විපාර්ශ්වික වශයෙන් කථිකා කරගත් වැදගත් කරණු පිළිබඳ සඳුදා (21) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී නිල වශයෙන් දැනුම් දුන්හ.

1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි, පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ සහ සංඥා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජිත් ලියනගේ ඇතුළු ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා සහභාගි වු ශ්‍රී ලංකා දුත පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී ද්විපාර්ශවිය සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය හමුදාව විසින් පෙන්වාදුන් වැදගත් කරුණු පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළහ.

මීට පෙර සාකච්ඡා කරගත් පරිදි ඉන්දීය හමුදාවේ ගුරුකා රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව හා සම්බන්ධව කටයුතු කිරීම සඳහා දක්වන කැමැත්ත සහ ඒ සබැදි යෝජනාවන් ප්‍රමුඛතාවය මත ක්‍රියාත්මක කිරීමට ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවේදී එකඟවිය.

එසේම, 2022 වසරේ මුල් භාගයේදී දෙරට හමුදාවන් අතර අන්න්‍යෝන්‍ය සබඳතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට හමුදාවන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ සමාලෝචනය කිරීමේ සංචාරයන් සිදුකිරීමට ද මෙම සාකච්ඡාව අතරතුරදී ඉන්දීය යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු ඉන්දිය නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා දුත පිරිස එක්ඟතාවයට එළඹ තිබිණි.

මේ අතර, 2022 වසරේ දෙවන භාගයේදී දෙරට හමුදාවන්හි යුද සේවා ලේකම්වරුන් අතර සාකච්ඡා ආරම්භ කරන බව, ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවට සහභාගි වු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ට පැවසූහ.

එසේම, අනාගතයේදී තොරතුරු කළමනාකරණ පද්ධති (Standard Information Management Systems) ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් ගවේෂණය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ඉන්දීය හමුදාව එකඟ වූ අතර, දිගුකාලීන සබඳතා සහ මතකයේ තවත් සංකේතයක් ලෙස අන්‍යෝන්‍ය වැඩසටහන් පැවැත්වීමට ද දෙරට හමුදාවන් ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවේදී එකඟ විය.

ඒ අනුව, 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පළමු අන්තර් ක්‍රියාකාරී වැඩසටහන පැවැත්වීමට ශ්‍රී ලංකා නියෝජිතයින් ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව අතරතුරදී එකඟ විය. මීට අමතරව, දෙරට හමුදාවන් අතර පවත්නා සුහදත්වයේ සංකේතයක් ලෙස ක්‍රිකට්, හොකී සහ වොලිබෝල් යන ක්‍රීඩාවන් දෙරට හමුදාවන් අතර පැවැත්වීමට නියමිතය.

10 වන ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවට සමගාමීව 2022 වසරේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සහභාගි වන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීට සහ ඉන්දීය හමුදා නියෝජිතයින්ට ද ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව අතරතුරදී ආරාධනා කල බවත් යුද්ධ හමුදා සැමරුම් උත්සවයට දෙරට හමුදා තූර්ය වාදක කණ්ඩායම් සහභාගි කරවීමට එකඟ වු බවත් දුත පිරිස මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන්ට පැවසීය.

මීට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණු කටයුතු සඳහා අතිරේක පුහුණු වැඩසටහන් ලබාදීමට ඉන්දීය හමුදාව කැමැත්ත පළ කළ අතර, එවැනි පුහුණු වැඩසටහන් හා සම්බන්ධවී හැකියාවන් වැඩිදියුණු කරගැනීම සඳහා ඉන්දීය හමුදාවේ පුහුණු සංවර්ධන අංශය සහ හමුදා ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානය වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගි කරවන ලෙසත් ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව අතරතුරදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා දුත පිරිසට ආරාධනා ලැබිණි.

ඉන්දියාවේ පැවති සියලුම සාකච්ඡාවන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉතා ඵලදායි බවත් දෙරට හමුදා අතර පවත්නා අවබෝධතාවය සහ එම සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරට හමුදාවන්හි කැපවීම නව තලයකට ගෙන ඒමට ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව තුළින් හැකිවන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා දුත පිරිස පැවසීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරීන් සුවිශේෂී හැකියාවන් සහ දක්‍ෂතා පෙන්වා ඇති ඉන්දීය යුද්ධ හමුදාවේ හමුදා තාක්‍ෂණ ආයතනය, ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ හමුදා ඉංජිනේරු විද්‍යාලයේ ද ශ්‍රී ලංකා දුත පිරිස සංචාරයක නිරත විය.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ එල්ල වු පසුබෑම් නොතකා ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව දෙරට හමුදාවන් අතර ශක්තිමත් සබදතා සහ සුහදත්වය අඛණ්ඩව පිළිබිඹු කරන අතර එහි නිගමන සහ නිර්දේශයන් දෙරට හමුදාවන්හි යහපත උදෙසා අනුගමනය කරන ලෙස මෙම අවස්ථාවට එක්වු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා දුත පිරිසට උපදෙස් දුන්නේය.

පූනේහි පැවති 9 වන ඉන්දු- ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවට ඉන්දිය හමුදාව නියෝජනය කරමින් ADGRC හි සම සභාපති මේජර් ජෙනරල් අනිල් කුමාර් කාෂිඩ් (Major General Anil Kumar Kashid), කාලතුවක්කු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනූප් ජකර් (Major General Anoop Jakhar), බ්‍රිගේඩියර් පාබල බ්‍රිගේඩියර් ගෞරව් ගෞතම් (Brigadier Gaurav Gautam), කර්නල් විදේශිය පුහුණු කර්නල් අයි.පී. සිං (Colonel I. P Singh) සහ කර්නල් ආරක්‍ෂක සහ සම ලේකම් කර්නල් එච්. භාරතනගර් (Colonel H Bharatnagar) යන නිලධාරින් සහභාගි වූහ.