Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2022 19:06:52 Hours

සුවිශේෂී හැකියාවන්ගෙන් පිරී තවත් කමාන්ඩෝ භටයින් 157 දෙනෙකු ‘මෙරූන් හිස්වැසුම’ පැළඳ විසිරයයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයින් 157 දෙනෙකු කමාන්ඩෝ නිල ලාංඡන සහ ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳ විසිරයාමේ උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (19) දින ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 48-ඩි සහ 48-ඊ යටතේ පුරා මාස 18 කට අධික කාලයක් උපදේශකයින් රැසකගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් අසමසම හැකියාවන්ගෙන් යුත් නිලධාරින් 13 දෙනෙකු සහ සෙසුනිලයින් 144 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය දැකබලා ගැනීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විසිරයන කමාන්ඩෝ භටයින්ගේ දෙමාපියන් සහ ඥාතී හිතමිත්‍රාදීන් පිරිසක් සහභාගි වූහ.

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන දොරටුව අභියසදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කමල් ධර්මවර්ධන සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජනක සමරසේකර විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

ඉන් අනතුරුව සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරිගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසිරයන කමාන්ඩෝ භටයින්ගෙන් සැඳුම්ලත් සම්මාන පෙළපාලිය නිරික්‍ෂණය කළේය. ඉන් පසුව විසිරයන කමාන්ඩෝ භටයින් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

දුෂ්කරවුත්, කටුකවුත්, විශේෂිත වු පුහුණුවක් හදාරා විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙකු වෙමින් දේශයේත්, ජාතියේත් වගකීම් ඉටුකිරීමට ‘නොහැක්කක් නොමැත’ යන ආදර්ශ පාඨය පෙරදැරීව කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වු අභීත පුතණුවන්ට කමාන්ඩෝ ලාංඡනය ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ ළඟම ඥාතීන්ගේ සුරතින් පැළඳ වූහ.

සුවිශේෂි පුහුණුවක් හැදෑරීමෙන් අනතුරුව විශිෂ්ඨයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීම සංකේතවත් කරමින් ලෝකයේ විශේෂිත හමුදා සෙබලුන් පමණක් පළදින ‘මෙරූන් හිස්වැසුම’ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ එක්ව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසිරයන කමාන්ඩෝ භටයින්ට ප්‍රදානය කළහ. ඉන් අනතුරුව, පුරා මාස 18 කට අධික කාලයක් පැවති කමාන්ඩෝ පුහුණු පාඨමාලාවේ විශිෂ්ඨයන් අතරින් විශිෂ්ඨයින්ට කුසලාන සහ සහතික පත් පිරිනැමීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදුවිය. සියලුදෙනාගේ අත්පොළසන් හඬ මධ්‍යයේ පාඨමාලාවේ දක්‍ෂතම කමාන්ඩෝ භටයාට සහ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මාන ලුතිනන් ටි.එම්.සී.එම්.බී. තෙන්නකෝන් විසින් හිමිකරගත් අතර දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හෙබි සිසුවා ලෙස ලුතිනන් සී.එල්. ජයතුංග සම්මාන හිමිකරගත්තේය.

ඉන් අනතුරුව සියලුදෙනා ආමන්ත්‍රණය කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙකු ලෙස විසිර යන කමාන්ඩෝ භටයින්ට සිය සුභාශීංසන පිරිනැමුවේය. “ඔබ, සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වන අතර රට ආරක්‍ෂා කිරීම සඳහා ඔබගෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුවනු ඇතැයි ජාතිය අපේක්‍ෂා කරයි,” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැවසීය.

“කමාන්ඩෝ භටයෙකු වීම පහසු කාර්යයක් නොවේ, මන්ද එයට කමාන්ඩෝ භටයින්ගේ ‘නොහැක්කක් නොමැත’ නිර්භිත ආදර්ශ පාඨය පෙරදැරි චිත්ත ධෛර්ය සහ කැපවීම අවශ්‍ය වේ. කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපති ලෙසත් වන්නි මානුෂීය මෙහෙයුමේදී කමාන්ඩෝ බලසේනාධිපති සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙනුත් මා කමාන්ඩෝ භටයින්ගේ සුවිශේෂත්වය සහ ඔවුන් සතු සුවිශේෂි කැපකිරීම පිළිබඳව මනා අවබෝධයක් ලැබුවෙමි. අභියෝග මධ්‍යයේ වුවද ඔබේ දක්‍ෂතා තව තවත් වැඩිදියුණු කරගනිමින් මනා පුහුණුවකින් පසු ඔබ නව ගමන් මගක් ආරම්භ කිරීමට පිවිස ඇති බව මතක තබා ගත යුතුයි.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

පුහුණු කාලය තුළ පැවති සෞඛ්‍ය අවදානම් නොසලකා විසිරයන කමාන්ඩෝ භටයින් පුහුණු කිරීම සම්බන්ධයෙන් රෙජිමේන්තු අධිපති, බලසේනාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක සහ පුහුණු පාසල් සේනාවිධායක වෙත ස්තූතිය පුද කල යුද්ධ හමුදාධිපතිතුමන් සන්නද්ධ හමුදාවන්හි අභිවෘද්ධිය උදෙසා අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමත්‍යතුමා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ලබාදෙන උපදෙස් සහ නොමඳ සහයෝගය පිළිබඳව ද මෙහිදි සිහිපත් කළේය.

මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020 – 2025’ ට සමගාමීව රජය විසින් ලබාදී ඇති පහසුකම් සමගින් සන්නද්ධ හමුදාවන්හි අඛණ්ඩ පුහුණුව, සුබසාධනය සහ අනෙකුත් සියලුම පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය කර ඇත. ගෝලීය ආරක්‍ෂාව වේගයෙන් වෙනස් වෙමින් පවතින මොහොතක විසිරයන නිර්භීත පුතුන් පුහුණු කිරීම සඳහා දක්වන ලද කැපවීම සහ දායකත්වය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සියලුම උපදේශකවරුන්ට සිය ස්තුතිය පුද කළේය.

මෙම විසිරයාමේ උත්සවය සිහිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, උපදේශකයින් සහ විසිර යන කමාන්ඩෝ භටයින් සමගින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.

විසිරයාමේ පෙළපාලිය අවසානයේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව, අභිනවයෙන් ඉදිකල ගෘහස්ථ ක්‍රීඩාංගණ සංකීර්ණය සහ එම සංකීර්ණයේ පිහිටි නවීන මාදිලියේ උපකරණ සහිත ව්‍යායාම් ශාලාව විවෘත කල යුද්ධ හමුදාධිපතිතුමන් යුද ජයග්‍රහණ සහ ඉතිහාසය මැනවින් සිහිපත් කරන ගුවන් සංක්‍රමික කෞතුකාගාරය ද විවෘත කළේය. සමරු ඵලකය නිරාවරණය කර කෞතුකාගාරය විවෘත කල යුද්ධ හමුදාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ එම පරිශ්‍රය නිරික්‍ෂණය කළහ.

එවකට 54 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස කටයුතු කරමින් සිටියදි ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව අලිමංකඩ දි දිවිපිදු මේජර් ජෙනරල් පී.පී. ප්‍රනාන්දු නිලධාරිතුමන්ට උපහාරයක් ලෙස මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය දිවංගත ‘මේජර් ජෙනරාල් පී.පී. ප්‍රනාන්දු අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගණය’ ලෙස නම් කරන ලදී. එසේම, ‘ජයසිකුරු’ මෙහෙයුමේදී සිය ජීවිතය පරිත්‍යාග කල කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රථම පරම වීර විභාෂණ (PWV) පදක්කම්ලාභියා වන දිවංගත මේජර් ජි.එස්. ජයනාත් නිලධාරිතුමන් සිහිපත් කරමින් නවීන මාදිලියේ උපකරණ සහිත ව්‍යායාම් ශාලාව ඉදිකරන ලදී. නව ගුවන් සංක්‍රමික කෞතුකාගාරය තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ගුවන් සංක්‍රමික අභ්‍යාස සහ මෙහෙයුම් සඳහා මුල් අදියරේදී භාවිතා කරන ලද සියලුම උපකරණ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.

විසිරයාමේ උත්සවය අවසානයේදි, කමාන්ඩෝ සෙබළුන් ඔවුන්ගේ කමාන්ඩෝ යුධ පුහුණු හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය කරමින් විශේෂ සජිවි සංදර්ශනයක්ද ඉදිරිපත් කළහ. ඔවුන් සතු අසීමිත ශක්තිමත්භාවය, උපායමාර්ගික කුසලතාවයන් හා ප්‍රහාරක හැකියාවන් මනාව පිළිඹිබු කරමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැඟවුණු වෙඩික්කරුවන්ගේ ඉලක්ක ගත කිරීම, ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම, විශේෂ පුද්ගලයින්ට ආරක්‍ෂාව සැපයීමේ සංදර්ශන, ත්‍රස්තවාදී ග්‍රහණයට හසුවූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම, වෙඩි තැබීමේ සංදර්ශන, සුනඛ සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග රැසක් ඉදිරිපත් කරමින් මෙම අවස්ථාවට සහභාගිවුවන් විනෝදසාවාදයට පත් කළහ.

මෙම විසිරයාමේ පෙළපාලිය දැකබලාගැනීම සඳහා සම්භාවනීය ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ.