Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th February 2022 15:30:13 Hours

‘සිහින නිවහනක්’ සඳහා වු යුද්ධ හමුදාවේ ‘විරු අභිමන්’ නිවාස ණය යෝජනා ක්‍රමය දියත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020 – 2025’ ට සමගාමීව, යුද්ධ හමුදාවේ සෑම සෙබලෙකුටම විශ්‍රාම යෑමට ප්‍රථම නිවසක් ඉදිකරදීම සඳහා වු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘විරු අභිමන්’ විශේෂ සහනදායී නිවාස ණය යෝජනා ක්‍රමය රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ එක්ව අද (15) දින සිට ක්‍රියාවට නංවන ලදී.

මෙම නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කල ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මේ සඳහා සම්පත් දායකත්වය ලබාදුන් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පැවැති උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිවාස සිහිනය සැබෑකරගැනීමට අත්වැලක් වෙමින් මෙම නිවාස ණය යෝජනා ක්‍රමය සඳහා වු ගිවිසුම භාරදුන්නේය.

මෙම නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ අයඳුම්කරුවන්ට වසරකට 9% පොලියට උපරිම වශයෙන් රුපියල් මිලියන 15 ක් සහ නිවස ඉදිකිරීමට නියමිත ඉඩමේ වටිනාකම සහ යෝජිත නිවස ඉදිකිරීමේ ඇස්තමේන්තු වටිනාකම මත 75% ක ණය මුදලක් පසුව ලබා ගත හැක. එසේත් නැතිනම්, දැනටමත් ඉදිකර ඇති නිවසක් මිලදී ගැනීමේදී, අයඳුම්කරුවන්ට ඇස්තමේන්තුගත වටිනාකමින් 75% ක් ලබා ගත හැක. එසේම, නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීමේදී වටිනාකමින් 60% ක මුදලක් අයඳුම්කරුවන්ට ලබා ගැනීමට ද හැකියාව පවතී.

මෙම ණය යෝජනා ක්‍රමයට තවත් සුවිශේෂීත්වයක් එක් කරමින්, ණය අයඳුම්කරුවන්ට සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව වයස අවුරුදු 70 දක්වා ණය ආපසු ගෙවීමේ හැකියාව ද පවතී. එසේම, ණය අනුමත කිරීමෙන් පසුව අනුමත වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම් 5 ක් යටතේ යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් අයදුම්කරු අදාළ රෙජිමේන්තුවේ වැඩ කණ්ඩයම්වල සහයෝගය ද ඇතිව එම නිවස ඉදිකිරීමට කටයුතු කරනු ලබයි.

ජාතියේ යහපත උදෙසා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෑම සොල්දාදුවෙකුටම සිය ගෞරවාන්විත වෘත්තීය ජීවිතය සාර්ථකව ගත කිරීම සඳහා යුද්ධ හමුදා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සාකච්ඡා කර යුද්ධ හමුදා සුබසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, මහජන බැංකුව සහ අනෙකුත් අදාළ අංශ සමඟ සම්බන්ධතාවයෙන් යුතුව මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන ලදී. අයඳුම්කරුවන් විසින් අයඳුම්පත් සම්පුර්ණ කර යොමුකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙම ණය මුදල ලබාගැනීම සඳහා මහජන බැංකුව සමඟ සම්බන්ධතාවයෙන් කටයුතු සලසාදෙනු ලබයි.

යුද්ධ හමුදා මුලස්ථානයේදී අද (15) දින පැවති උත්සවය අතරතුරදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ මහතා විසින් ‘විරු අභිමන්’ නිවාස ණය යෝජනා ක්‍රමය සඳහා වු ගිවිසුම නිල වශයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාරදුන්නේය.

‘සිහින නිවහනක්’ සැබෑ කරගැනීමට අපේක්‍ෂා කරන සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ට අදාළ රෙජිමේන්තුවල නොමඳ සහයෝගය ඇතිව මෙම ණය යෝජනා ක්‍රමය නිසැකවම ප්‍රතිලාභයක් කරගැනීමට හැකිවනු ඇති බව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. ත්‍රිවිධ හමුදාව සිදුකරනු ලබන කාර්යභාරයට සුවිශේෂි වටිනාකමක් එක් කරමින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් මහජන බැංකුව වෙත සිය ස්තූතිය පුද කළේය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවයට සහභාගි වු යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය. මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ‘විරු අභිමන්’ නිවාස ණය යෝජනා ක්‍රමය පිළිබඳ හඳුන්වාදෙමින් යෝජිත නිවාස 5 සඳහා වැය වන මුදල සහ ණය යෝජනා ක්‍රමය පිළිබඳ පැහැදිලි කෙරෙන වීඩියෝවක් ප්‍රදර්ශනය කෙරිණි.

යුද්ධ හමුදා මුලස්ථානයේදී මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීමේ අවස්ථාවට මහජන බංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ මහතා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න විරසුරිය, යුද්ධ හමුදා මුල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සෑල්ල, යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම මහජන බැංකුවේ නිලධාරින් පිරිසක් ද සහභාගි වුහ.