Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th January 2022 12:13:09 Hours

ජපන් තානාපති යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70 ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති හිදීකි මිසුකොෂි මහතා (Mr. Hideaki mizukosh) බදාදා (26) දින පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති හිදීකි මිසුකොෂි මහතා ඇතුළු දුත පිරිස යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යන ලදී.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුව අතරතුරදී, පසුගිය වරස 70 පුරාවට දෙරට අතර පවත්නා ද්වීපාර්ශවික සහයෝගීතාව සහ අවබෝධය පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

එසේම, කොවිඩ්-19 වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව දැක්වු දායකත්වය මෙන්ම ජාතික සංවර්ධන කාර්යභාරය සහ කාබනික පොහොර නිෂ්පාදන වැනි කටයුතු සඳහා යුද්ධ හමුදාව දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද තානාපතිවරයා මෙහිදි සිහිපත් කළේය. ජපානයේ ඓතිහාසික වටිනාකම සහ දෙරට අතර පවත්නා සමීප සබඳතා සැබවින්ම පිළිබිඹු වන පරිදි ද්වීපාර්ශ්වික සහයෝගය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තානාපතිතුමන් ජපානයේ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව මෙම සුහද හමුවේදී පැවසීය.

ගිලන්රථ, වෛද්‍යාධාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් මෙරට සැබෑ මිතුරෙකු ලෙස ජපානය සෑමවිටම ලබාදෙන තාක්‍ෂණික සහයෝගය පිළිබඳ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුවේදී කෘතවේදිව සිහිපත් කළේය.

මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුවට අමාත්‍ය / දුත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටරෝ මහතා (Mr. Katsuki Kotaro) සහ ආරක්‍ෂක උපදේශක කපිතන් ෆුකවුරා ගාකු (Captain Fukaura Gaku) සහභාගි වූහ.