Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th January 2022 10:52:01 Hours

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ට ‘නායකත්වය’ පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක්

‘වෘත්තීය ප්‍රමිතින්, නායකත්ව ගුණාංග සහ අණදීම්’ පිළිබඳ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් ජනවාරි මස 18 සහ 19 දෙදින පුරා ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ඒකකවල සේවයේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ බළලත් නිලධාරි 11 නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 110 දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර්වරියන් 7 දෙනෙකු ඇතුළු බළලත් නිලධාරිවරියන් 13 දෙනෙකු සහභාගි වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු මෙම වැඩමුළුවේ දේශන යුද්ධ හමුදා මුලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි - 1 පී.ජි.එම්.එස්.එස්. ජයවීර, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ හිටපු රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි 1 බි.ඩි.එස්. හේමචන්ද්‍ර (විශ්‍රාමික) සහ බළලත් නිලධාරි 1 කේ.ආර්.ඒ. සෙනෙවිරත්න (විශ්‍රාමික) විසින් පවත්වන ලදී.

මෙම වැඩමුළුවේදී බළලත් නිලධාරින්ගේ රාජකාරි හා වගකීම්, භටපිරිස් කළමනාකරණ කිරීමේ හැකියාව සහ විනය ආදිය පිළිබඳව ද දැනුවත් කරන ලදී. ඊට අමතරව 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එල්.ඩි.එස්.එස්. ලියනගේ විසින් ‘නායකත්වය’ පිළිබඳ දේශනයක් පවත්වන ලදී.

මෙම දෙදින වැඩමුළුව අවසානයේ, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එල්.ඩි.එස්.එස්. ලියනගේ විසින් වැඩමුළුවට සහභාගි වු සියලුම බළලත් නිලධාරින්ට සහ දේශකයින්ට සමරුඵලක සහ සහතිකපත් ප්‍රදානය කළහ. මෙම වැඩමුළුවේ සමාප්ති උත්සවයට ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ.