Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2022 08:00:16 Hours

විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන තවත් පවුලකට නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් වවුනියාව, ආසිකුලම් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස 2022 ජනවාරි 14 වන දින එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත භාරදුන්නේය.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන මෝහන්රාජ් මහේස්වරී මහත්මියගේ ජීවන තත්ත්වය පිළිබඳ අවධානය යොමුකල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් විසින් 562 වන බලසේනා මුලස්ථානය දැනුවත් කිරිමෙන් අනතුරුව 56 වන සේනාංකය යටතේ ස්ථාපිත 562 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

නව නිවස ඉදිකිරිම සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය වවුනියාව ප්‍රදේශයේ පිහිටි ‘Safety Credit’ පුද්ගලික ආයතනයේ සහ ‘Safety Gun Care’ පුද්ගලික ආයතනයේ අධ්‍යක්‍ෂ මහේන්ද්‍රරාජා මයුරතන් මහතා විසින් ලබාදෙන ලදී.

නව නිවස විවෘත කිරිමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගි වු අතර එම අවස්ථාවට ප්‍රධාන අනුග්‍රාහක මහේන්ද්‍රරාජා මයුරතන් මහතාගේ භාර්යාව වන මයුරතන් මහත්මිය ද සහභාගි විය. එහිදි ප්‍රධාන ආරාධිතයින්ගේ සුරතින් පීත්ත පටිය කපා නව නිවස විවෘත කර නිවාසලාභීයා වෙත භාරදුන්නේය.

පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම උත්සවයට 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.එස් ප්‍රේමවංශ, 56 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් ප්‍රදීප් කරුණානායක, 56 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.කේ.ඒ.එස් ප්‍රියන්තලාල්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් කේ.ඩී.එච්.එම්.ඩබ්ලිව්.ජේ.කේ. හේරත්, 17 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එච්.කේ කුමාරසිරි, ආසිකුලම් ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී හා සමෘද්ධි නිලධාරි, යුද්ධ හමුදා නිලධාරීන්, සෙසුනිලයන්, පොලිස් නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතියන් පිරිසක් සහභාගී වූහ.