Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2022 11:41:19 Hours

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයට නව නිවාඩු නිකේතනයක්

22 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකළ ‘The Twenty two Bungalow’ නිවාඩු නිකේතනය ඉකුත් සෙනසුරාදා (22) දින විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ශිරන්ත මිල්ලගල සහ 22 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බී.එස්.කේ ජයසුන්දර විසින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගත්තේය.

ඉන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නවතමයෙන් ඉදිකළ නිවාඩු නිකේතනයේ සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා සුබ මොහොතින් විවෘත කළේය.

දෙමහල් නිවාඩු නිකේතනය 22 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්වල ඉංජිනේරු දැනුම තාක්‍ෂණික දැනුම මෙන්ම ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලදී.

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව 22 වන ගජබා රෙජිමේන්තුවේ අරමුදලින් ඉදිකරනු ලැබු මෙම නව නිවාඩු නිකේතනය සියලු පහසුකම්වලින් සමන්විත වන අතර එය ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ බලගන්වමින් සුභසාධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන ලද අතර, ව්‍යාපෘතිය ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ සක්‍රීය සහයෝගය ඇතිව අවසන් කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග නව නිවාඩු නිකේතනය නිරීක්‍ෂණය කරමින් එහි ඉදිකිරීම් කටයුතුවල නිරතවූ 22 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමගින් අදහස් හුවමාරු කරගත්තේය.

එම අවස්ථාවෙන් නික්ම යාමට පෙර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.