Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2021 10:29:07 Hours

සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රාහකත්වය මත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඉදිකල තවත් නිවසක් නිවාසලාභීන්ට

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රහය මත ඉදිකළ තවත් නව නිවසක් පසුගිය අඟහරුවාදා (30) දින කෑගල්ල, අරන්දර ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.

එම්.ටී.වී/එම්.බී.සී මාධ්‍ය ජාලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘සිරස නිවස’ ව්‍යාපෘතිය යටතේ මෙම අඩු ආදායම්ලාභි පවුල සඳහා නව නිවසක් ඉදිකරදීමට සිරස මාධ්‍ය ජාලය විසින් තීරණය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හී ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික සහයෝගය ලබාදුන්හ.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන රොෂාන් වික්‍රමසිංහ මහතා පිළිබඳ අවධානය යොමු කළ සිරස මාධ්‍ය ජාලය නව නිවස අවම පිරිවැයකින් ඉදිකරදීම සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යුද්ධ හමුදාධිපතිතුමන් වෙතින් අපේක්‍ෂා කළහ.

නව නිවස විවෘත කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (30) දින පැවති අතර එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සමඟින් එම්.ටී.වී/එම්.බී.සී, මාධ්‍ය ජාලයේ ප්‍රධානි නීඩ්‍රා වීරසිංහ මහත්මිය සහභාගී වූහ.

එලෙස ඉදිකරන ලද නව නිවස ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනුග්‍රාහක භවතුන්ගේ සුරතින් සමරුඵලක නිරාවරණය කර පොල්තෙල් පහන් දල්වා චාරිත්‍රනුකූලව සුභමොහොතින් විවෘත කරන ලදී. ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ කිරි උතුරුවනු ලැබීය. මෙම අවස්ථාවේදීම, නිවාසලාභී පවුලේ ආබාධිත දරුවෙකුගේ ප්‍රයෝජනය සඳහා කිහිලිකරු යුවලක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩෝවිට, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් තුෂාර ගනේපොල, 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩී.සී.එස්.කේ. අතුකෝරල, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සිරස මාධ්‍ය ජාලයේ නිලධාරින්, නිවාසලාභී පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.