Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2021 10:51:13 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකළ තවත් නව නිවසක් නිවාසලාභීන්ට

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියට සමගාමීව කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩවසන පූජ්‍ය උඩුදුම්බර සෝභිත හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත වවුනියාව, ශාස්ත්‍රීකුලම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකල නව නිවස පසුගිය බදාදා (01) දින නිවාසලාභී පවුල වෙත භාරදුන්නේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 562 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ මෙම නව නිවස නිවාසලාභි ගෝවින්ද ශාන්ත වඩිවෙල් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් විසින් පීත්ත පටිය කපා විවෘත කරනු ලැබූහ.

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.එස්. ප්‍රේමවංශ විසින් සිදුකළේය. නව නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් සිදුකරන ලදී. තවද, එම අවස්ථාවේදී නිවාසලාභීන් වෙත ගෘහ උපකරණ කිහිපයක් ද පරිත්‍යාග කරනු ලැබීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සව අවස්ථාව සඳහා පූජ්‍ය ලක්ෂේගම විමලරත්න හිමිපාණන්, RR Construction ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරි මිචෙල් මහතා, වව්නියාව Safety Credits Ltd ආයතනයේ අධ්‍යක්‍ෂ මවුරදන් මහතා, ශාස්ත්‍රීකුලම් ප්‍රදේශයේ සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි නිලධාරින්, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා, 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.එස්. ප්‍රේමවංශ, 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.ජේ.බී. රාජපක්‍ෂ, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.