Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2021 15:32:34 Hours

යාපනයේ වැසියන් සඳහා 51 වන සේනාංකයේ මූලිකත්වයෙන් ජංගම වෛද්‍ය සායන

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රෝහල් වෙත ගොස් සිය වෛද්‍ය අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව සිටින පුද්ගලයින් වෙනුවෙන් සහන සලසමින් යාපනය අර්ධද්වීපයේ සෙල්වපුරම්, යෝගපුරම් සහ කෝපායි ගම්මාන වෙත ගොස් පසුගිය ඉරිදා (21) දින ජංගම වෛද්‍ය කඳවුරු පැවැත්වූහ.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සඳහා 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරි මේජර් චින්තක කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිලධාරින් තිදෙනෙකු සහ හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 12 දෙනෙකු සහ වෛද්‍ය රංගන් මදන් ප්‍රමුඛ යාපනය ශික්‍ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ. මෙම සායනය අතරතුර එම ගම්මානවල පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් සඳහා ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබාදුන්හ.

සිවිල් වැසියන්ගේ සුභසාධනය උදෙසා සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සිවිල් වැසියන් සහ ත්‍රිවිධ හමුදාව අතර සංහිඳියාව හා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබයි.  

යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මෙම වෛද්‍ය සායනයන් සංවිධානය කිරීම සඳහා අවැසි සහයෝගය ලබාදුන්හ. යුද්ධ හමුදා භටපිරිස් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙම වෛද්‍ය සායන පැවැත්වූහ.