Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2021 17:29:45 Hours

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් දිවයිනට

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් මහතා (Nikolai Patrushev) තෙදින නිල සංචාරයක් සඳහා අද (22) දින පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ගුවන් තොටුපලේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් දිවයිනට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් උණුසුම් අයුරින් පිළිගත්හ.

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් මහතා දිවයිනට පැමිණ පැය කිහිපයකට පසුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය. ඉන් අනතුරුව, රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ඇතුළු දූත පිරිස අද (22) දින මධ්‍යහනේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවී සාකච්ඡාවක නිරත විය.

මෙම සුහද හමුව අවසානයේ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබුවේය. ඒහිදි දෙරට අතර පවතින සුහදතාවය තවදුරටත් ශක්තිමත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

ජාතික ආරක්‍ෂක කටයුතු පිළිබඳ තීරණ ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයාගේ උපදේශක ආයතනයක් වන රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස වර්ෂ 2008 සිට නිකොලායි පට්රුෂෙව් මහතා (Nikolai Patrushev) කටයුතු කරනු ලබයි.