Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2021 21:45:09 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ට පොපි මලක් පළඳවමින් පොපි දින සැමරුම් උත්සවය පිළිබඳ දැනුවත් කරයි

පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා යුදබිමේදී දිවිපිදූ සියලුම රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන පොපි මල් දින සැමරැම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් බදාදා (10) දින සන්ධ්‍යාවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සංකේතාත්මකව පොපි මලක් පැළඳවිය.

පොපිමල් දින සැමරුම් උත්සවය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මලක් පැළඳවිය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

පොපී මල් දින සැමරුම් උත්සවය නොවැම්බර් මස 14 වන දින කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර ඒ පිළිබඳ තොරතුරු, මෙම හමුව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත දැනුම් දෙන ලදී.

‘In Flanders Field’ නැමති ප්‍රචලිත කවියට අනුව ‘පොපි’ යන වචනය සැමරුම් දින සංකේතයක් ලෙස භාවිතා වූ අතර, ජනප්‍රවාදවලට අනුව පළමු ලෝක යුද සමයේ දී ෆ්ලෙන්ඩර්ස් හි පිහිටි යුද පිටිවල මෙම පොපි මල පිපී පැවති බව සඳහන් වේ. මෙහි ඇති දීප්තිමත් රත් පැහැය යුද්ධයේ දී රුධිරය වැගිරවීම සංකේතවත් කරයි.

77 වැනි ලෝක පොපිමල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා යොදවනු ලබන අතර පොපිමල් දින සැමරුම් උත්සවය නොවැම්බර් මස 11 දිනට ආසන්නම ඉරිදා දින පවත්වනු ලබයි.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ උපසභාපති මේජර් ජෙනරල් අඹන්පොල (විශ්‍රාමික), ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික), ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ (විශ්‍රාමික) සහ අනුස්මරණ කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් ඒ. දීපාල් සුභසිංහ (විශ්‍රාමික) ඇතුළු ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය තුමන් හමුවී සංකේතාත්මකව පොපීමල් පළඳවා ‘පොපී’ සතියේ සමාරම්භය සනිටුහන් කෙරිණි.