Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2021 06:51:07 Hours

සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදාව ඉදිකල තවත් නිවාස දෙකක් නිවාසලාභින්ට

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ උපදෙස් මත 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ‘සිරස නිවාස’ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ ඉදිකල තවත් නිවාස දෙකක් මැදිරිගිරිය සහ අම්පාර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වෙනුවෙන් පසුගියදා භාරදුන්නේය.

මෙම අඩු ආදායම්ලාභි පවුල් දෙක සඳහා නව නිවාස ඉදිකරදීමට සිරස මාධ්‍ය ජාලය විසින් තීරණය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නව නිවාස දෙකේ ඉදිකිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදී ඇත. ඒ අනුව, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් නව නිවාස දෙක කඩිනමින් ඉදිකර නිවාසලාභින් වෙත පවරාදීම සඳහා අනුග්‍රාහකයින් වෙත භාරදුන්නේය.

නව නිවාස දෙක විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහභාගි වූ අතර එම අවස්ථාවට 24 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර එක්ව සිටියහ. ඉකුත් සෙනසුරාදා (30) දින පැවැති මෙම උත්සවයට ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය නියෝජනය කරමින් එම්.ටී.වී/එම්.බී.සී, මාධ්‍ය ජාලයේ ප්‍රධානි නිඩ්‍රා වීරසිංහ මහත්මිය සහ ප්‍රියන්ත විජේසිංහ මහතා සහභාගි වූහ.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි මාලනී රූපලතා මහත්මිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචි නිශාන්ත සෙනරත් බණ්ඩාර මහතා පිළිබඳ අවධානය යොමු කළ සිරස මාධ්‍ය ජාලය නව නිවාස දෙක අවම වියදමකින් ඉදිකරදීම සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය යුද්ධ හමුදාවෙන් ලබාගැනීමට අපේක්‍ෂා කළහ. මීට පෙර ද සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රහය මත ඉදිකල මෙවැනි නිවාස ව්‍යාපෘති කිහිපයක් සඳහා ද යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය ලබාදී ඇත.

ඒ අනුව, යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකල මෙම නිවාස දෙක ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ සුරතින් සමරුඵලක නිරාවරණය කර පොල්තෙල් පහන් දල්වා චාරිත්‍රනුකූලව සුභමොහොතින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට සිරස මාධ්‍ය ජාලයේ නිලධාරින්, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ හා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරින්, නිවාසලාභින්ගේ පවුල්වල සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ. සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ඇතිව පසුගිය කාලයතුල අඩු ආදායම්ලාභි පවුල් රැසකට නව නිවාස ඉදිකරදීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.