Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2021 06:01:02 Hours

යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් නව වාර්තාවන් ත්‍රිත්වයක් පිහිටුවයි

99 වැනි ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන අදියර යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩකාවන් රැසකගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පුරා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

1997 වසරේදී මැලේසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී මහේෂ් පෙරේරා ක්‍රීඩකයා විසින් කඩුලු පැනීමේ ඉසව්වෙන් පිහිට වූ තත්පර 14.00 ක වාර්තාව බිඳ දමමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් රොෂාන් ධම්මික රණතුංග මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ තත්පර 13.89 ක නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිය.

එසේම, රිටි පැනීමේ ඉසව්වේදී ශ්‍රී ලංකා සංඥා බලකායේ කාන්තා සංඥා සෙබල කේ.එල්.එස්.කේ පෙරේරා, 2020 වසරේදී ඇය විසින්ම පිහිටවූ මීටර් 3.5 ක වාර්තාව අලුත් කරමින් මීටර් 3.57 ක නව ජාතික වාර්තාවක් පිහිටවීමට සමත්විය.

මේ අතර, දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරන කාන්තා සෙබළ සාරංගි සිල්වා, 2020 වසරේදී ඇය විසින්ම පිහිටවූ මීටර් 6.44 ක වාර්තාව බිඳ දමමින් මීටර් 6.48 ක නව වාර්තාවක් පිහිටුවිය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

මෙම තරඟාවලියේ පළමු අදියර පසුගිය මැයි මාසයේදී පැවැත්විණි.