Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2021 13:01:22 Hours

කූරගල රජමහා විහාරස්ථානයේ ‘කඨින දුශ්‍රය’ වන්දනා මාන කිරීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයට වැඩම කරයි

කූරගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් කූරගල රජමහා විහාරස්ථානයේ ප්‍රථම ‘කඨින චීවර’ පූජාව නොවැම්බර් මස 6 සහ 7 දෙදින පුර එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.

කූරගල රජමහා විහරස්ථානයේදී ‘කඨීන චීවර’ පූජා මහා උත්සවය පැවැත්වීමට ප්‍රථම, ‘කඨීන දුශ්‍රය’ අලංකාරවත් පෙරහැරකින් එම විහාරස්ථානය වෙත වැඩම කරවන අතරවාරයේ වන්දනාමාන කිරීම සඳහා බ්‍රහස්පතින්දා (04) දින සන්ධ්‍යාවේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානය වෙත වැඩම කෙරිණි.

‘කඨින දුශ්‍රය’ වැඳපුදා ආශිර්වාද ලබාගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ප්‍රධානත්වයෙන් යුත් අලංකාරවත් පෙරහැරකින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත වැඩම කළ ‘කඨීන දුශ්‍රය’ ඉන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල අභියසදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිළිගැන්විය. ඉන් අනතුරුව, ආගමික වතාවත් සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් ‘කඨින දුශ්‍රය’ වැඩම කර විශේෂ මණ්ඩපයේ තැන්පත් කරන ලදී.  

යුද්ධ හමුදා මුලස්ථානය වෙත ‘කඨීන දුශ්‍රය’ වැඩම කරවීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදුකල පූජ්‍ය වල්පොල ගෝතම හිමිපාණන්, යළි පිබිදෙන කූරගල රජමහා විහාරස්ථානය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය ප්‍රශංසාවට ලක් කළහ. එහිදී, ‘කඨින දුශ්‍රය’ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ හිස මත තැන්පත් කර ආශිර්වාද එක් කළහ.

මෙම ආගමික වත්වත් සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.