Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2021 20:04:30 Hours

පලාලි යුද්ධ හමුදා ගොවිපලේ පොල් පැළ 800 ක් රෝපණය කෙරේ

දිවයින පුරා පොල් පැළ මිලියන 04 ක් වගා කිරීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මුලස්ථානය විසින් පලාලි යුද්ධ හමුදා ගොවිපලේ අක්කර 12 ක භූමි ප්‍රමාණයක පොල්පැළ 800 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් බදාදා (03) දින දියත් කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාවට නැංවු මෙම ව්‍යාපෘතියේ සමාරම්භය යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සිදුකෙරිණි. මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරය හෙබවු ජ්‍යෙෂ්ඨ නිල‍ධාරින්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත එම පරිශ්‍රයේ අද වනවිට පොල් පැළ 7000 කට අධික ප්‍රමාණයක් රෝපණය කර ඇත. මේ වනවිට භටපිරිස් විසින් පලාලි යුද්ධ හමුදා ගොවිපල පරිශ්‍රයේ පොල් පැළ රෝපණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

51 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම පොල් පැළ රෝපණ කිරීමේ උත්සවයට තවත් වැදගත්කමක් එක් කරමින් ප්‍රදේශයේ තෝරාගත් සිවිල් වැසියන් 50 දෙනෙකු වෙත වියලි සලාක පාර්සල් 50 ක් සහ පොල් හා තල් පැළ බෙදාදීම මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සිදුකෙරිණි.