Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2021 17:19:26 Hours

ජාතික හා සමාජ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් යාපනයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (03) දින උදෑසන යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය. එහිදී, ජාතික හා සාමාජීය වශයෙන් වැදගත් ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි.

පලාලි ගුවන් තොටුපල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් මහත් හරසරින් යුතුව පිළිගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය වෙත කැටුව යන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව එතුමන් සරඹ භූමිය වෙත පැමිණියහ. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ගෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාර සරඹ භූමියේ විශේෂ පීඨිකාව වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී, උතුරේ වත්මන් තත්ත්වය, ආරක්‍ෂක තත්ත්වය, ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති, ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය සහ අනෙකුත් කරුණු පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් සවිස්තරාත්මකව යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පැහැදිලි කළේය. සුහද හමුව අවසානයේ, මෙම සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී ගනු ලැබු සමුහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.

යාපනය ආර්ධද්වීපයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බලප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් අමතමින් යාපනය අර්ධද්වීපය තුළ සේවයේ නියුතු භටපිරිස් සිදුකරනු ලබන සුවිශේෂි රාජකාරිවල ඇති වැදගත්කම සිහිපත් කරමින් ඔවුන්ට සිය ස්තූතිය පුදකරන ලදි.

“උතුරු ප්‍රදේශයේ ඇතැම් ජනකොටස් තම අභිමතයන් සහ අනෙකුත් වාසි වෙනුවෙන් යාපනය අර්ධද්වීපයේ ජීවත්වන මහජනතාවගේ මානසිකත්වය වෙනස් කිරීමට උපරිම උත්සාහයක නියැලෙති. නමුත් යුද්ධ හමුදාව මේ වනවිට සිදුකරනු ලබන කාර්යභාරය හා මානුෂිය මෙහෙයුම් සමයේදී යුද්ධ හමුදාව කටයුතු කල ආකාරය පිළිබඳ මෙම අර්ධද්වීපයේ ජිවත්වන දමිළ ප්‍රජාව හොඳින් දනී. එම නිසා එවැනි කෘර උත්සාහයන්ට පසුබට නොවී ඔබේ කාර්යභාරයන් නොපසුබටව ඉටුකිරීමට කටයුතු කරන්න. ඔබේ රැකියාව ඔබට ගෞරවයක් ගෙනදෙන අතර ඔබ රට වෙනුවෙන් විශාල සේවයක් ද ඉටුකරනු ඇත.” යැයි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහිදි වැඩිදුරටත් පැවසීය.

“කොවිඩ් - 19 වෛරසය රට තුළ පැතිරගිය උච්චතම අවස්ථාවේදී ඔබ සැවොම ඔබේ නිවාඩු නියමිත කාලයන්හිදී නොගොස් වෛරසය රට පුරා ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා කටයුතු කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, තාවකාලික කඳවුරු පිහිටුවීම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, ප්‍රදේශ හුදකලා කිරීමට, මාර්ග බාධක ක්‍රියාත්මක කිරීම සහ ජාතික එන්නත්කරණ ක්‍රියාවලියට සහයෝගය දැක්වීම වැනි කටයුතු වලදී ක්‍රියාශීලිව ඔබේ දායකත්වය ලබාදුන්නා. එපමණක් නොව ඔබ මුර සංචාර සිදුකරමින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, සමාජ විරෝධි ක්‍රියා පාලනය කිරීම සහ අඩු ආදායම්ලාභි පවුල් වෙත නිවාස ඉදිකරදීම, පාසල් සිසුන්ට ශිෂ්‍යාධාර දීම, සිවිල් වැසියන්ට පානීය ජලය ලබාදීම සඳහා උපකාර කිරීම, වෛද්‍ය සායන පැවැත්වීම සහ ඔවුන්ගේ ජිවනෝපාය ඉහළ නැංවිම ඇතුළු ප්‍රදේශයේ ජනතාව අතර සාමකාමී සහජිවනය ඇති කිරීම සඳහා දායකත්වය ලබාදුන්නා. ඒ වෙනුවෙන් ඔබ සියලුදෙනාට මාගේ කෘතඥතාවය මෙහිදි පුදකරනවා” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් තවදුරටත් පැවසීය.

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ගුවන් හා නාවික හමුදා සාමාජිකයින් විශාල කාර්යභාරයක් ඉටු කරන බව පැවසු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කන්කසන්තුරේ වරායේ කටයුතු නුදුරේදී ආරම්භ වූ පසු ගුවන් සහ නාවික හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල් වනු ඇතැයි පැවසීය. අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන්ගේ නොමද සහයෝගය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම ව්‍යාපෘති සිදුකිරීමට හැකි වු බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් මෙහිදි පැවසීය.

ඉන් අනතුරුව, පලාලි පිහිටි 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අභිනවයෙන් ඉදිකල කාර්යාල සංකීර්ණය සහ නිලධාරි නිවස්නය විවෘත කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කෙරිණි. ආගමික වතාවත් මධ්‍යයේ ආරක්‍ෂක සේනා ආඥපති - යාපනය සහ 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි සමඟ එක්ව යුද්ධ හමුදාධිපතිතුමන් අභිනවයෙන් ඉදිකල කාර්යාල සංකීර්ණය සහ නිලධාරි නිවස්නය සමරුඵලක නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කරන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් මත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය පසුගියදා නව ස්ථානයක ස්ථානගත කිරීමෙන් අනතුරුව අවශ්‍යතාවයකව පැවැති මෙම කාර්යාල සංකීර්ණය සහ නිලධාරි නිවස්නය ඉදිකිරීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට 51, 52 හා 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුර), බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි සහ කාන්තා සෙබලියන් සහභාගි වූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකල සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අළුත්වැඩියා කළ වාහන සංකේතාත්මකව භාරදීම, යුද්ධ හමුදාව විසින් නිෂ්පාදනය කළ කාබනික පොහොර මෙන්ම පොල් හා තල් පැල බෙදාදීම සහ යුද්ධ හමුදාව විසින් ඉදිකල නිවාස ප්‍රතිලාභින්ට භාරදීම ඇතුළු තවත් ප්‍රජා සුභසාධන ව්‍යාපෘති රැසකට සහභාගිවීමට නියමිතය.