Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2021 16:00:16 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් අම්පාර ප්‍රදේශයේ ඉදිකල තවත් නිවාස දෙකක් නිවාසලාභීන්ට

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් අම්පාර ප්‍රදේශයේ ඉදිකල තවත් නිවාස දෙකක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී නිවාසලාභින් වෙත භාරදුන්හ.

ඒ අනුව, අම්පාර ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාකාරින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ අනුග්‍රහය ඇතිව මෙම නිවාස දෙක 241 වන බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජමේන්තුවේ සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් ඉදිකරන ලදී. මේ සඳහා යුද්ධ හමුදා භටපිරිස් ලබාදුන් සිය තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය හේතුවෙන් නිවාස දෙකෙහිම ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරගැනීමට හැකිවිය.

අම්පාර ප්‍රදේශයේ දරුවන් සමඟ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කේ. නාගරාජා මහතා සහ කුනරේතනන් සීතා මහත්මිය හිසට සෙවණක් නොමැතිව අත්විදින දුක්ඛිත තත්ත්වය පිළිබඳ 24 වන සේනාංක මූලස්ථානය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් නව නිවස දෙකක් යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් මෙලෙස ඉදිකරදෙන ලදී.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චමින්ද ලමාහේවා ගේ අධීක්‍ෂණය යටතේ සියලු පහසුකම් වලින් සමන්විත මෙම නිවාස දෙක භටපිරිස් විසින් ඉදිකරන ලදී. එසේම, අභිනවයෙන් ඉදිකල නිවාස ප්‍රතිලාභින් වෙත භාරදීමේ උත්සව අවස්ථාවේදී, නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ නිවාසලාභි පවුල් දෙක වෙත ප්‍රදානය කෙරිණි.

නව නිවාස දෙක නිවාසලාභීන් වෙත භාරදීමේ අවස්ථාවට 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන්, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 24 වන සේනාංකයේ හා 241 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරින්, 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ හා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරින් මෙන්ම නිවාසලාභි පවුල්වල සාමාජිකයින් ද සහභාගි වුහ.