Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2021 17:31:27 Hours

යුද්ධ හමුදා ප්‍රධානි විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත හමුදා සම්ප්‍රදායානූකූලව රතු පලස් මතින් පිළිගනි

විජයබාහු පාබල රෙජිමේන්තුව ‘තම උපායෙහි ශිල්පියෙහි සහ වෘත්තියෙහි අති දක්ෂයෙකුට ඉසිලිය නොහැකි මහ බර කුමක්ද’ යන තේමා පාඨය පෙරදැරි කරගනිමින් වර්ෂ 1988 දී ස්ථාපිත කරන ලද බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් සකසන ලද සරඹ භූමීය විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සිකුරාදා (21) දින උදෑසන සහභාගී වූ අතර, එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ගෞරවාචාර මධ්‍යයේ උත්සවාකාරයෙන් මහත් හරසරින් යුතුව විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත පිළිගන්නා ලදී.  

විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් සකසන ලද සරඹ භූමිය විවෘත කිරීමේ අවස්ථාවට විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූවේය.  

ප්‍රධාන ආරාධිත අමුත්තා කැටුව රථ පෙළපාලිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ප්‍රධාන දොරටුව අභියසට පැමිණීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සිසිර පිලපිටිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ මධ්‍යස්ථාන සේනාවිධායක සමග එක්ව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කර පුෂ්පෝපහාර පුදකරන ලදී.

ඉන් අනතුරුව, තම මිතුරු පාර්ශවයේ භටපිරිස්හී ජීවිත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සතුරු පාර්ෂවයන් පරාජය කරමින් දැක්වූ නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් පරම වීර විභූෂන පදක්කමෙන් පිදුම් ලැබු වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරිම වෙනුවෙන් ඉදිකරනු ලැබු රණවිරු ස්මාරකය නිරීක්‍ෂණය කරමින් පුෂ්පෝපහාර දැක්වූහ.

සතුරා ඉදිරියේ තම සහෝදර භටපිරිස්හී ජීවිත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පරාර්ථකාමීව ඉදිරිපත් වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ දිවංගත මාණ්ඩලික සැරයන් එච්.ජී.එස්. බණ්ඩාර සහ මාණ්ඩලික සැරයන් පී.එන්. සුරංග වෙනුවෙන් එම ස්මාරකය ඉදිකර ඇත. එම ස්මාරකය අභියසදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම විරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරමින් සිය ගෞරවාචාරයන් පුදකළේය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කරමින් නව සරඹ භුමිය විවෘත කිරීම සනිටුහන් කරන ලදී. නව සරඹ භූමිය විවෘත කිරීමෙන් අනතුරුව, මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචරය පුදකිරීම සඳහා සරඹ භූමිය වෙත ආරාධනා කරන ලදී. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විජයබාහු පාබල රෙජිමේන්තුවේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ බළලත් නිලධාරින් සමඟ සමූහ ඡායාරූපක් සඳහා ද පෙනී සිටියේය.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා භටපිරිස් අමතමින් පසුගිය කාල වකවානුවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ප්‍රවර්ධනය පිළිබඳ සිහිපත් කරමින් මානුෂිය මෙහෙයුමේ අවසානය දක්වා විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් ලද අමිල මෙහෙවර පැසසුමට ලක් කළේය.

තවද, ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යය වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු, හදිසි අවස්ථාවන්හිදී කඩිනමින් ක්‍රියාත්මක වීම වෙනුවෙන් 1 වන බලකාය, ඩ්‍රෝන රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂි හා පශු සම්පත් බලකාය, ඉංජිනේරු බලසේනාව ආදී ඒකකයන් ස්ථාපිත කරමින් යුද්ධ හමුදා සංවිධානය පුළුල් කිරීම සඳහා දැක්වූ දායකත්වය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි සිහිපත් කළේය.  

එමෙන්ම, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු, ප්‍රතිලාභ මෙන්ම මහනුවර, පල්ලෙකැලේ නව යුද්ධ හමුදා රෝලහ ස්ථාපිත කිරීම පිළිබඳව ද සඳහන් කරන ලදී.  

විජයබාහු පාබල රෙජිමේන්තුවේ සිදුකළ සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. සංචාරය සමාප්ත කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම පරිශ්‍රයෙන් නික්ම යෑමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.  

විජයබාහු පාබල රෙජිමේන්තුවේ ආරම්භයේ සිටම යුද පිටියේදී පමණක් නොව සියලු හදිසි අවස්ථා සහ ව්‍යසනයන් වලදී ඉදිරිපත් වී තම ජීවිත පවා මවුබිම වෙනුවෙන් පුදකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැබෑ පාබල භටයෙකුගේ ස්වරූපය පෙන්නුම් කර ඇත. රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් 3049 දෙනෙකු සිය ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකර ඇත. එමෙන්ම, තවත් රණවිරුවන් 2877 දෙනෙකු රණක්‍ෂිතයට පත්ව ඇත.