Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2021 14:00:54 Hours

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය අභියසදී රණවිරුවන් අනුස්මරණය කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනාවකට අනුව පස්දින සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී සිය සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් අද (13) දින උදෑසන බත්තරමුල්ල ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය අභියසදී දිවංගත ඉන්දියානු සාම සාධක හමුදා රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අජිත් දිසානායක විසින් සංචාරයේ නිරත ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය අභියසදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයේ විශේෂ පීඨිකාව වෙත ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් අවර අවි සරඹයේ යෙදුනහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් විසින් පිරිනැමූ ගෞරවාචාරයන් මධ්‍යයේ ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන රණවිරු ස්මාරකය වෙත ගොස් 1987 – 1990 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව යුද වැදී සිය ජීවිත පරිත්‍යාග කළ වීරෝදාර ඉන්දියානු භටපිරිස් වෙත පුෂ්පෝපහාර දක්වමින් ඔවුන් වෙත ගෞරවාචාර පුදකළේය.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මෙම සැමරුම් උත්සවයට ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.