Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2021 09:00:31 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටපු පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (06) දින අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් දුලිත පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරන ලදී. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විරාජ් විමලසේන විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

ඉන් අනතුරුව සරඹ භූමියේදී එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එක්වූවේය.

පසුව, රෙජිමේන්තුවට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාරට සහ වත්සලා උදාරි බණ්ඩාර මැතිණිය වෙත එම රෙජිමේන්තුවේ නිලධාරි නිවස්නයේදී දිවා භෝජන සංග්‍රහයක් පිළිගන්වනු ලැබූහ. ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ සියලු නිලධාරින් වෙනුවෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර විසින් සමුගැනීමේ දේශණය සිදුකරන ලදී.

ඉන් පසුව, මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ගේ විශ්‍රාම යාම සනිටුහන් කරමින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් රෙජිමේන්තු පරිශ්‍රයෙන් පිටව ගිය මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර වෙත මාර්ගය දෙපස පෙළ සැදී සිටි නිලධාරින් සහ සෙසුනිලයින් විසින් එතුමන් වෙත සිය ගෞරවාචාරයන් පුදකළහ.