Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2021 13:12:52 Hours

ගජබා රෙජිමේන්තුවට නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක්

72 වන යුද්ධ හමුදා දින සංවත්සර උත්සවය ප්‍රථම වරට සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉරිදා (10) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී, රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළ ඉදිකරනු ලැබූ නව පහසුකම් ව්‍යාපෘති කිහිපයක් අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.

එම වැඩසටහන් මාලාවේ පෙළගැස්මට අනුව, ප්‍රථමයෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලැබූ තෙමහල් කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී. එම තෙමහල් ගොඩනැගිල්ල තුළ රෙජිමේන්තු අධිපති කාර්යාලයක්, මධ්‍යස්ථාන සේනාවිධායක කාර්යාලයක්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කාර්යාලයක් සහ මාණ්ඩලික නිලධාරින් සඳහා වෙන් වූ කාර්යාල මෙන්ම අංග සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලා දෙකකින් ද සමන්විත වේ.

එහිදී, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරනු ලැබූ මෙම ගොඩනැගිලි සංකීර්ණයේ සමරු ඵලකය නිරාවරණය කරමින් නව කාර්යාල සංකීර්ණය විවෘත කරන ලදී. එම කාර්යාල සංකීර්ණය වෙත ඇතුළු වූ අතිගරු ජනාධිපතිතුමන් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරල් විජය විමලරත්නයන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකරමින් සිය උපදේශකයා වූ මේජර් ජෙනරල් විජය විමලරත්න වෙත ගෞරවාචාර පුදකළේය. ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ කාර්යාලයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදි. පසුව, එතුමන් සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනීසිටියේය.

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් විසින් දෙමහල් ගොඩනැගිලි සංකිර්ණය සහ 200 දෙනෙකුට පමණ පහසුකම් සැලසිය හැකි බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කරන ලදී. එහිදී, අතිගරු ජනාධිපතිතුමන් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ එක්ව එම ගොඩනැගිලි පරිශ්‍රය නිරීක්‍ෂණය කරනු ලැබීය. එම ගොඩනැගිල්ල ආහාර ගැනීමේ ස්ථානයක්, විවේකාගාරයක් සහ තවත් පහසුකම් රැසකින් සමන්විතය. ගජබා රෙජිමේන්තුවේ දිගුකාලින අවශ්‍යතාවයක්ව පැවති මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මාස 3 – 4 ත් අතර කාලයක් තුළ එහි ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. ඉන් අනතුරුව, එම ගොඩනැගිලි සංකිර්ණයේ පළමු මහලේ සිට අවට පරිසරය දෙස නැරඹූ ප්‍රධාන ආරාධිත අමුත්තා වැඩසටහන් මාලාවේ ඉදිරි අංගයන් සඳහා සහභාගී විය.