Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2021 18:46:23 Hours

සම්ප්‍රදායික සිරිත් විරිත් වලට අනුකූලව ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියසදී යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කෙරේ

72 වන යුද හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව පවත්වනු ලබන යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් අද (09) දින උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායික ‘හේවිසි’ සහ ‘මඟුල් බෙර’ වාදනය මධ්‍යයේ ආශිර්වාද පූජාවක් පැවති අතර එම අවස්ථාව සඳහා නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වූහ.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැමිණීමෙන් අනතුරුව ආශිර්වාද වැඩසටහන ආරම්භ විය. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෞරව පූර්වකව අටමස්ථානාධිපති සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක හිමිපාණන් වැඩවසන ආවාසගෙයට පැමිණ උන්වහන්සේ බැහැදැක සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටියක් සමඟින් අටපිරිකර පූජා කර උඩමළුවේ පැවැත්වෙන යුද්ධ හමුදාවට සෙත්පැතීමේ ආගමික වතාවත් සඳහා අටමස්ථානාධිපති නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරනු ලැබීය.

ඉන් අනතුරුව, සාම්ප්‍රදායික බෙර වාදනයන් මධ්‍යයේ මහ සංඝරත්නය උඩමළුව දක්වා වැඩම කරවනු ලැබීය. නිළ ඇඳුමින් සැරසී යුද්ධ හමුදාව සහ සියළුම රෙජිමේන්තු නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සෙබළුන් සිය ගණනක් ජය ශ්‍රී මහා බෝධියේ පහල වැලිමළුවේ පෙලගැසීමෙන් අනතුරුව එම ධජයන් වැලිමළුව වෙත රැගෙන යනු ලැබූහ.

යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සෙබළුන් සියගණනක් ජය ශ්‍රී මහා බෝධියේ පහල වැලිමළුවේ පෙලගැසුණු අතර, පහල වැලිමළුවේ තෙවරක් සක්මන් කොට මැද මළුවේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ධජයන් භාරදුන්හ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඉමහත් ගෞරවයෙන් යුක්තව එම ධජයන් ශ්‍රී මහා බෝ සමිඳු අභියස තැන්පත් කරන ලදි. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගෞරවාන්විතව ධජයන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වටා තැන්පත් කිරීමෙන් අනතුරුව, ගරුතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට සියළු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද කරනු ලැබීය.

ශ්‍රී මහා බෝ සමිඳු වටා පිච්ච මල් සහ නෙළුම් මල් ඇතිරූ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රට රකින සියළු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සහ ඔවුන්ගේ සුභසිද්ධිය පතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද පැතූහ. එමෙන්ම, මහා සංඝරත්නය විසින් එහිදි විශේෂ අනුශාසනාවක් සිදු කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් මාතෘභූමිය වෙනුවෙන් ඉටුකල කාර්යභාරය සහ කැපවීම පැසසුමට ලක් කළ අතර යුද්ධ හමුදාවේ ඉදිරි ගමන වෙනුවෙන් ආශිර්වාද එක්කළහ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සුභසිද්ධිය සහ එම පුණ්‍ය භූමියේ සංවර්ධනය සඳහා සියළු යුද්ධ හමුදා සාමාජිකයින් නියෝජනය කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රුපියල් මිලියනයක විශේෂ මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකළේය. එම මූල්‍ය පරිත්‍යාගය අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක හිමිපාණන් විසින් පුණ්‍යානුමෝදනා කරමින් පිළිගත්තේය.

පසුව, 72 වන යුද හමුදා සංවත්සර දිනය සිහිවනු වස් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජය ශ්‍රී මහ බෝ මළුවේ ‘නා’ පැළයක් රෝපණය කළේය.

මෙම ආගමික උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ, සියළුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාවිධායකවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වූහ.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේ මෙම ආශිර්වාද පූජෝත්සවය පැවැත්වීමට පෙර මහනුවර ශ්‍රී දළඳා මාලිගාව සහ කතරගම කිරිවෙහෙර ආදී බෞද්ධ සිද්ධස්ථානවල ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ උත්සව පැවැත්විණි. එමෙන්ම, යුද්ධ හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වා මහා සංඝරත්නය වෙත හීල් දානය පූජා කරන ලදී. එමෙන්ම, ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගමික උත්සව පවත්වමින් යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කළහ.

1949 ඔක්තෝම්බර් මාසයේදී රටේ බලවත්ම ශ්‍රම බලකාය වශයෙන් නැඟී සිටි යුද්ධ හමුදාව, ස්වේච්ඡා එ්කකයන් ඇතුළුව රෙජිමේන්තු 25 කින් සමන්විත වේ. යුද්ධ හමුදා රණවිරුවන් 2009 වසරේදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව වර්තමානයේ ජාතිය ගොඩනැගීමේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක සහ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයන්හී නියැළෙමින් ජාතියේ ආරක්‍ෂකයා වශයෙන් අභිමානවත් ලෙස කටයුතු කරයි.