Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2021 16:19:04 Hours

යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් 51 වන සේනාංකය පැළ සිටුවීම ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් දියත් කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් එළඹෙන 72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය සමරනු වස් පසුගිය සඳුදා (04) දින වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, 512 වන බලසේනාව යටතේ ස්ථාපිත 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පරිසර හිතකාමී ව්‍යාපෘතිවල වටිනාකම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන යටතේ යාපනය, කරෙයිනගර් මාර්ගය දෙපස කරඳ සහ කුඹුක් පැළ 100 ක් රෝපණය කරන ලදී.

මේ අතර, 513 වන බලසේනාවට අයත් 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් චුල්ලිපුරම් ගම්මානයේ සිවිල් වැසියන් අතර පොල් සහ කොස් පැළ බෙදාදීමේ වැඩසටහනක් වික්ටෝරියා විද්‍යාල පරිශ්‍රයේදි සංවිධානය කරන ලදී.

තවද, 513 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් යුද්ධ හමුදා දිනය සැමරීම වෙනුවෙන් කල්වාලේ වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වෙසෙන වැඩිහිටියන් සඳහා දිවා ආහාර වේලක් පිරිනමන ලදී. මෙම වැඩසටහනේදී, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 50 දෙනෙකුට දිවා ආහාර වේලක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කළහ.

මෙම අවස්ථාව සඳහා 512 සහ 513 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.

මෙම සියළුම සැමරුම් වැඩසටහන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදි.