Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2021 22:08:55 Hours

කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා ඇමරිකා ධර්ම විජය පදනමෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා අංගෝපාංග තොගයක් ඇමරිකාවේ පිහිටි ධර්ම විජය පදනම හා බෞද්ධ විහාරය මගින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත බ්‍රහස්පතින්දා (01) දින ප්‍රදානය කරන ලදී.  

මෙම පරිත්‍යාග කිරීම සඳහා එම සංගමයේ ප්‍රධානි ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද නායක හිමිපාණන් විසින් එම පදනම නියෝජනය කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාරදෙන ලදී.  

මෙම උපකරණ අතරට රුධිර ස්පන්ධනය සහ හෘද ස්පන්දනය නිරීක්‍ෂණය කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර, ඔක්සිජන් සැපයුම් යන්ත්‍ර, ලීටර් 10 ඔක්සිජන් සාන්ද්‍රන මනින යන්ත්‍ර සහ රුධිර ඔක්සිජන් පරික්‍ෂණ යන්ත්‍ර ඇතුලත් වූ අතර එහි දළ වටිනාකම ඇමරිකන් ඩොලර් 20,000 ක් පමණ වේ. මෙම උපකරණ වතුපිටිවල මූලික රෝහල, මාරවිල රෝහල, හොරණ මූලික රෝහල, කුලියාපිටිය රෝහල, කුරුණැගල රෝහල, ත්‍රිකුණාමලය රෝහල, බලපිටිය රෝහල, අනුරාධපුර රෝහල, හෝමාගම රෝහල, මඩකලපුව රෝහල, කඹුරුපිටිය රෝහල සහ කොළඹ යුද්ධ හමුදා රෝහලට ලබාදීමට නියමිතව ඇත.  

මෙම පරිත්‍යාගය භාරගනිමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද නායක හිමිපාණන් සහ නියෝජිතයින්ට ස්තූතිය පළකල අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා ඇමරිකාවේ පදිංචි පරිත්‍යාගශීලීන් දැක්වූ අනුග්‍රහයට සිය ස්තූතිය පළ කරන ලදී.  

මෙම උපකරණ බෙදාදීමේ අවස්ථාව සඳහා 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ, යුද්ධ හමුදා මූලස්ථානයේ ආධුනික බඳවාගැනීම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මිහිඳු පෙරේරා, 582 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය, 583 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංඛ ජයමහ, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශේන් ගුණවර්ධන, 223 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම්, 612 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික කරුණාපාල, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.