Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2021 19:47:55 Hours

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ, විශ්වවිද්‍යාල සැරයන් මේජර් සහ යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විද්‍යාපීඨ සැරයන් මේජර් යුද්ධ හමුදාධිපති මුණගැසෙයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල සැරයන් මේජර් සහ යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විද්‍යාපීඨ සැරයන් මේජර් ලෙස පත්වීම් ලැබූ බළලත් නිලධාරින් දෙදෙනා පසුගිය සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මුණගැසුණහ. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන් වෙත සිය රජකාරි ස්වභාවය පිළිබඳ උපදෙස් ලබාදුන්නේය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි 1 ජී.පී.ජී.එම්.එස්. ජයවීර ද එක්වූහ.

මෙහිදී, නව තනතුරේ පත්වීම් ලැබූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බළලත් නිලධාරි 1 ඩබ්ලිව්.පී.ඩී.ආර්. වීරසිංහ සහ බළලත් නිලධාරි 1 ඩබ්ලිව්.ආර්.අයි. විජේසුන්දර වෙත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම තනතුරුවල ඇති වැදගත්කම හා ඔවුන් සතු කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළේය. රාජකාරි වපසරිය තුළ ආයතන දෙකෙහි විනය පැවැත්ම, භටකාර්ය සම්පාදනය හා පරිපාලන ක්‍රියාවලිය ඇතුලු අනෙකුත් රාජකාරි කටයුතු පිළිබඳ ඔවුන් සතු වගකීම් පිළිබඳ සමාලෝචනයක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරින් සහ සෙසු නිලයින් අතර සම්බන්ධීකාරක වනුයේ ඔවුන් බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරින් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය බවත් එය, අනාගත හමුදා නිලධාරියෙකු හා නායකයෙකු ලෙස කටයුතු කිරීමට ශිෂ්‍ය නිලධාරින් පුහුණු කරන ආයතනයක් බවත් මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් පැවසුවේය. තමා කෙඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණු පාසල්වලදී සැරයන් මේජර්වරුන්ගෙන් ලද ඝණසරඹ පුහුණුව මෙන්ම ඔවුන්ගෙන් ලත් නිවැරදි පරිචය යුද්ධ හමුදා ජීවිතයට මහත් පිටුවහලක් සපයන බව මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.

නව සැරයන් මේජර්වරුන් දෙදෙනා පිරිස් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ අනුමැතිය මත එම ධූරවල රාජකාරි කටයුතු භාරගත්හ.

මෙම හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව සැරයන් මේජර්වරුන් දෙපළ වෙත සිය සුබපැතුම් එක්කළේය.