Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2021 18:30:38 Hours

‘ජාත්‍යන්තර යෝග දිනයට’ සමගාමීව යුද්ධ හමුදා මූලස්ථානයේදී යෝගා වැඩසටහනක්

7 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබු උත්සවයක් අද (21) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත් විය.

මෙම යෝගා වැඩසටහන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින උදෑසන පැවත්වූ අතර, යෝගා වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම Zoom වීඩියෝ සම්මන්ත්‍රණ මාධ්‍ය ඔස්සේ ආගමික ආශීර්වාද සිදුකරන ලදී.

යෝගා දිනයේ පිළිගැනීමේ දේශනය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා විසින් ‘Zoom’ වීඩියෝ සම්මන්ත්‍රණ මාධ්‍ය ඔස්සේ සිදුකළ අතර, ප්‍රධාන දේශනය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ‘Zoom’ වීඩියෝ සම්මන්ත්‍රණ මාධ්‍ය ඔස්සේ සිදු කළේය. ඉන් අනතුරුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ යෝගා දින පණිවුඩ Zoom වීඩියෝ සම්මන්ත්‍රණ මාධ්‍ය ඔස්සේ පැමිණ සිටි පිරිසට සවන්දීමට අවස්ථාව සලසන ලදී. ඉන් අනතුරුව ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව මෙරට යෝගා දින වැඩසටහන ආරම්භ විය.

ඉන් අනතුරුව උපදේශකයින් සහ සහභාගීවූවන් එම ස්ථානයේදී යෝගා අභ්‍යාසවල නිරතවූ අතර, මානසික හා ශරීරක ඒකාග්‍රතාවය ඇති කරනු ලබන මෙම යෝගා ව්‍යායාම අඛණ්ඩව ප්‍රගුණ කිරීම තුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් කායික හා මානසික සමබරතාවයෙන් යුතු පිරිසක් බවට පරිවර්ථනය කිරීමට බලාපොරොත්තුවේ.

7 වන ජාත්‍යන්තර යෝග දින සැමරුම වෙනුවෙන් විදේශ සබඳතා අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යංශය එක්ව යුද්ධ හමුදා මූලස්ථානයේදී මෙම යෝගා වැඩසටහන පැවැත්වූ අතර, එමගින් දෙරට අතර පවතින අන්‍යෝන්‍ය බැදීම් තවදුරටත් ශක්තිමත් වීම අරමුණු කරන අතර ශ්‍රී ලංකාව තුළ මෙම පුරාණ යෝගා ශාස්ත්‍රය ප්‍රවර්ධනය කිරීමට යුද්ධ හමුදාව කැපවී සිටී.

පනාගොාඩ යුද්ධ හමුදා ජනපදයේ සහ දිවයිනපුරා ව්‍යාප්තව ඇති යුද්ධ හමුදා ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ‘Zoom’ වීඩියෝ සම්මන්ත්‍රණ මාධ්‍ය ඔස්සේ යෝගා වැඩසටහන හා සම්බන්ධ වූ අතර, යුද්ධ හමුදා මූලස්ථානයේ මිනිත්තු 75 ක පමණ කාලයක් පැවති යෝගා වැඩසටහන සජීවීව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් ලොව පුරා විකාශනය කෙරිණි.

ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ සුප්‍රසිද්ධ යෝගා උපදේශක ආචාර්ය වික්‍රම් සිං ගුරු මෙම වැඩසටහනට මෙහෙය විය.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයට අනුකූලව පැවති යෝගා වැඩසටහන සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් වසන්ත මාදොල, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

ජාත්‍යන්තර යෝගා දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අදහස ප්‍රථම වරට ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මහතා විසින් 2014 සැප්තැම්බර් 27 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී යෝජනා කරන ලදී. ඒ අනුව ජුනි මස 21 ජාත්‍යන්තර යෝගා දිනය ලෙසට පත්කරන කරන ලදී. එක්සත් ජාතීන්ගේ තානාපති අසෝක් කුමාර් මුකර්ජි විසින් 2015 වසරේ සිට මෙම සැමරුම ආරම්භ කරන ලදී.

යෝගා යනු ඉන්දියාවේ පුරාණ සම්ප්‍රදායේ වටිනා දායාදයක් වන අතර එය ශාරීරික ව්‍යායාමයක් පමණක් නොවන අතර මනස හා ශරීරය ඒකාග්‍ර කරයි. යෝගා ව්‍යායාම, සිතුවිලි සහ ක්‍රියාව, සංයමය සහ ඉටුවීම, මිනිසා සහ සොබාදහම අතර සහ සම්බන්ධතාවය, මානව වර්ගයාගේ සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ පරිපූර්ණ ප්‍රවේශයකි.