Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2021 19:28:31 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙන් ප්‍රතිනවීකරණය කළ රථවාහන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද රථවාහන කිහිපයක් අද (15) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරීක්‍ෂා කළේය.

කසළ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථයක්, ජිප් රථ හතරක් සහ ඩබල් කැබ් රථයක් එලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂා කරන ලදී.

මෙහි විශේෂත්වය වන්නේ ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථය හැර අනෙකුත් සියලුම රථ යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව ප්‍රයෝජනයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ රථ වාහන වීමයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ලබාදුන් උපදෙස් අනුව මෙම සියලුම වාහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්ගේ ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් නවීන මාදිලියන්ට අනුව නවීකරණය කර තිබීම තවත් සුවිශේෂීත්වයකි.

එමෙන්ම, විදේශ විනිමය විශාල ලෙස ඉතිරි කරමින් ආයෝග්‍ය කරන ලද යතුරුපැදි, වෑන්, ලොරි, ට්‍රක් සහ බස් ඇතුළු බරවාහන රැසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය ඇතුළු දිවයිනපුරා ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලවල් මගින් යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත්වැඩියා කර ඇත.

මෙලෙස යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම දෙනාට මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.