Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2021 19:54:38 Hours

යුද්ධ හමුදාව සීදූවේ ඉදිකරන ලංකාවේ විශාලතම කොවිඩ් - 19 රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

යුද්ධ හමුදාව විසින් වැඩිදියුණු කරන ලද සීදූවේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 රෝගීන් සඳහා වූ විශාලතම රෝහල අද (08) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිරීක්‍ෂණය කළේය. එම රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින අතර එම ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ඇතුලු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම සංචාරය සඳහා එක්වූහ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ අනුග්‍රහය මත සියලුම සෞඛ්‍ය පහසුකම් සහිතව ඉදිකර ඇති මෙම නව රෝහල ඇඳන් 1200 කින් සමන්විත වන අතර එහි ඉදිකිරීම් කටයුතු බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ අෂ්ර්ෆ් ඕමාර් (Ashroff Omar) මහතාගේ විශේෂ අනුග්‍රාහකත්වය මත සිදුකෙරිණි. මෙම රෝහල ඉදිකරීමේ විෂේශත්වය වන්නේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සතියක වැනි කෙටි කාලයක් තුළ මෙහි ඉදිකිරීම් සහ වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකිරීමයි. කොවිඩ් - 19 උවදුරට මුහුණදීම සඳහා කොවිඩ් - 19 ආසාදිතයින්ට ප්‍රතිකාරි කිරීම වෙනුවෙන් ඇති ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමට රජය ගත් තීරණය අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රෝහලේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සිය උපරිම දායකත්වය සපයනු ලැබූහ.

උද්ගත වී ඇති හදිසි තත්වය මත යුද්ධ හමුදාව වෙතින් දිවයින පුරා කොවිඩ් - 19 රෝගීන් සඳහා රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේදී ඒ සඳහා සුදුසු ස්ථානයන් සොයාබැලීම ආරක්‍ෂක සේවා බලධාරින් විසින් සිදුකරන ලදී. දිවයින පුරා ඇති රජයේ රෝහල්වල ධාරිතාව ඉක්මවූ අවස්ථාවක කොවිඩ් - 19 ආසාදිතයින් සඳහා මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමට බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ආසාදිතයින් සඳහා ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබාදීම සඳහා සීදූවේ ආරම්භ කිරීම මෙම රෝහල තුලින් බලාපොරොත්තු වන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මෙම නිරීක්‍ෂණ චාරිකාවට එක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සමඟින් යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

කොවිඩ් - 19 වෛරසයේ තෙවන රැල්ල රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින මෙවන් අවදියක ඕනෑම හදිසි අවශ්‍යතාවයකට මුහුණ දිය හැකිවන පරිදි ස්ථාපිත කර ඇති මෙම රෝහල වෙතින් ආසාදිතයින් සඳහා සියලුම සෞඛ්‍ය පහසුකම් නොමිලේ සපයනු ලබයි. මෙම නව රෝහල හදිසි ප්‍රතිකාර ඒකකයක්, හුදකලා කිරීමේ අංශ, පුනර්ජීවන අංශ, දැඩිසත්කාර ඒකක සහ ඖෂධ ශාලා ඇතුලු සියලුම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත වේ.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉල්ලීමකට අනුව සීදූවේ පිහිටි මෙම කර්මාන්ත ගොඩනැගිල්ල තුළ යුද්ධ හමුදාව විසින් නව රෝහලේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. මීට අමතරව පූනානි හා රඹුක්කන ප්‍රදේශවල පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් ගොඩනැගිලි දෙකක් තුළ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවා ඇත. එම ආයතනය ‘LEED Platinum’ සහතිකය සමඟ ලොව ප්‍රථම ඇඟලුම් නිෂ්පාදනය කරන ආයතනය වන අතර මෙම පහසුකම ලෝකයේ ප්‍රථම වතාවට ආරම්භ කරන ලද්දකි.

මෙම රෝහල ආරම්භයේදී ඇඳන් 1200 කින් සමන්විත වන අතර දෙවන අදියර වශයෙන් ඇඳන් 5000 ක් සහිතව ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ කටයුතු දැනටමත් සූදානම් කර ඇත. යුද්ධ හමුදාවේ ඉලක්කය ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා මෙම ඇඳන් ප්‍රමාණය 10,000 ක් දක්වා වැඩි කිරීමටයි. මෙම මධ්‍යස්ථානය තුළ යුද්ධ හමුදාව විසින්ම සූදානම් කරන ලද වෙන්කරන ලද හුදකලා කිරීමේ කාමර සහ හදිසි අවස්ථාවකදී භාවිතා කළ හැකි ලෙස ඇඳන් 1200 ක් සූදානම් කර ඇත. මීට අමතරව දැඩි සත්කාර ඇඳන්, දැඩි සත්කාර අංශයන්ද මෙම රෝහල තුළ පවතී. රජයේ රෝහල් වල දැනට ඇඳන් 86,000 ක් පමණ ඇති අතර, එම ඇඳන් වලින් ඇඳන් 5000 ක් පමණක් කොවිඩ් - 19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා යුද්ධ හමුදාව භාවිතා කර ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසුවේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය සමඟින් ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අශෝක පීරිස්, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන්, සංඥා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලලිත් හේරත්, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චානක ප්‍රතාපසිංහ, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කර්නල් සවීන් සේමගේ, යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි කර්නල් ඉන්දික පෙරේරා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.