Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2021 20:30:37 Hours

ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රයෝජනය සඳහා ඇඳන් 10,000 ක් ලබාදී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ තවත් සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (04) දින රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

වසංගතයේ 3 වන අදියරයේ ස්වභාවය, වත්මන් තත්ත්වය සහ වෛරසය පැතිරයාම හේතුවෙන් රට තුළ තවත් ප්‍රදේශ හුදකලා කිරීම වැනි කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැහැදිලි කළේය.

මෙහිදී එතුමන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ භාවිතයට තිබෙන ඇඳන් සමගින් කොවිඩ් - 19 ආසාදිතයින් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට කඳවුරු යොදවා ඇති බවත් දැඩිසත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමට ක්‍රියා කරන බවටත් ප්‍රකාශ කරන ලදී. තවදුරටත් එතුමන් අදහස් දක්වමින් රජය මේ වනවිට සම්පූර්ණයෙන් රට හුදකලා කිරීම හෝ යම් කළමණාකාරිත්වයක් යටතේ සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකිරීම යන විකල්ප දෙකක් අනුගමනය කරමින් සිටින බවට පැවසුවේය. නව ආසාදිතයින් හඳුනාගැනීම සහ ප්‍රදේශ හුදකලා කිරීම් සිදුකිරීම සඳහා අවස්ථානුකූලව සිදුකරනු ලබන PCR පරික්‍ෂණ සංඛ්‍යාව 15,000- 20,000 දක්වා වැඩිකර ඇත.

මේ වනවිට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් කොවිඩ් - 19 වෛරසයේ වර්ධනයන් පිළිබඳ නිරීක්‍ෂණය කරන අතර සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුගෙන්ම නව ආසාදිතයින් හඳුනාගැනීම පිළිබඳ තොරතුරු එක්රැස් කරනු ලබයි. එමෙන්ම, ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම සඳහා ප්‍රවාහන පහසුකම් සලසාගැනීමේ අපහසුතාවයන් සහිත ආසාදිතයින්ට 1906 දුරකථන අංකය ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකරගැනීමේ හැකියාව පවතී. යුද්ධ හමුදාව විසින් නව ඇඳන් 10,000 ක් සහ සේවා වනිතා ඒකකය වෙතින් තවත් ඇඳන් 1,200 ක් ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා රෝහල් වෙත නුදුරේදී ලබාදෙන බවට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

එන්නත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විස්තර කරමින් එතුමන් පැවසූවේ රුසියානු එන්නතේ පළමු මාත්‍රාව 15,000 ක් දැනට ගෙන්වා ඇති බවත් විද්‍යාත්මක නිර්දේශයන් වලින් අනතුරුව සතියක් ඇතුළත තවත් එන්නත් 185,000 ක් ගෙන ඒමට හැකියාව ඇති බවත්ය. ඒ අනුව නුදුරේදී තවත් එන්නත් තොග ගෙන්වන බව ද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.

ජාතිය මෙවන් අර්බුදකාරි අවස්ථාවකට මුහුණ පා ඇති අවධියක ජාතික ප්‍රයත්නයන්ට එරෙහිව කටයුතු කරන යම් පාර්ශව විසින් මෙම ක්‍රියාවලියට එරෙහිව ව්‍යාජ ප්‍රචාර සහ සමාජ විරෝධී අදහස් පළකිරීම පිළිබඳ තොරතුරු මේ වනවිට ලැබී ඇති බවත් ඒ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් සහ අවධානයෙන් සිටින ලෙසත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය. එමෙන්ම, නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ තම ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමුවූවන් දින 07 සිට දින 14 දක්වා කාලයක් නිරෝධායනය කරනු ලබන බවත් ඒ පිළිබඳ පොලීසිය විසින් සොයාබලන ලෙසත් උපදෙස් ලබාදුන්නේය.

මේ අතර, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අදහස් දක්වමින් මෙම උවදුර මැඩපැවැත්වීමේ තීරණාත්මක සාධකය මානව හැසිරීම බවත් ඒ තුලින් ජාතියේ අනාගතය තීරණය වන බවත් පැවසුවේය. මෙම අවස්ථාවට පැමිණ සිටි අනෙකුත් විද්වතුන් සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනෙකුත් පාර්ශවකරුවන් ප්‍රදේශ හුදකලා කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම, අත්‍යවශ්‍ය සේවා සැපයීම, අවශ්‍ය අවස්ථාවලදී ඔක්සිජන් සැපයීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, විදේශිකයින් මෙරටට පැමිණීම, නිරෝධායන මධ්‍යස්ථාන හා ඒවායේ ක්‍රියා පටිපාටි සහ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම මේ වනවිට එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයවළුන් සඳහා දෙවන මාත්‍රාව ලබාදීම සිදුකරන ආකාරය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.