Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2021 22:00:14 Hours

කොවිඩ් - 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මාධ්‍ය වගකීම පිළිබඳ සාකච්ඡා කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මාධ්‍ය ප්‍රධානීන් කැඳවයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ප්‍රධානීන් කැඳවා බ්‍රහස්පතින්දා (29) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේය. එහිදී, රට දැඩි ලෙස වෛරසයට ගොදුරු වෙමින් පවතින මෙම අවස්ථාවේදී වාද බේද නොතකා එය පරාජය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙළගැසෙන ලෙස කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී මාධ්‍ය වෙත කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, එක්සත් රාජධානියේ කීලි විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ භෞතික විද්‍යා මහාචාර්ය අතුල සුමතිපාල මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී වෛරසය රටතුළ සම්ප්‍රේෂණය වීමට එරෙහි සටනේදී මාධ්‍යයේ කාර්යභාරය සහ එහි අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළ අතර ඉදිරියටත් මහජනයා වෙත නිවැරදි තොරතුරු ලබාදීමේ වැදගත්කම මෙම රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම සාකච්ඡාවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වර්තමානයේ පැතිරෙමින් පවතින කොවිඩ් - 19 වෛරසයේ 3 වන අදියර අනෙකුත් අදියරයන්ගෙන් වෙනස්වන ආකාරය සහ එහි බරපතලකම අවබෝධ කර ගනිමින් කටයුතු කළයුතු බව ද අවධාරණය කළේය. එය ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී කරුණක් නොවන අතර මේ වනවිට රටේ යම් ප්‍රදේශ හුදෙකලා කර ඇති අතර අවශ්‍ය වුවහොත් වෛරසය යාබද ගම් වෙත පැතිරීම වැළැක්වීම සඳහා ඉදිරියේදී හුදෙකලා කිරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද එතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

“මීට පෙර අවස්ථාවලදී මෙන් නොව වෛරස් ආසාදිත පුද්ගලයින් හඳුනාගනු ලබන ප්‍රදේශ වල වෙසෙන මහජනයා වෙත පූර්ව දැනුම් දීමකින් තොරව හුදකලා කිරීමේ කටයුතු සිදුකරනු ලබන බවත් රටේ පිළිගත් ආයතන වෙත ඒ බව දැනුම්දෙන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. එමෙන්ම, ඔවුන්ට ගෝලීය තර්ජනයක් හා ජාතික උවදුරක් බවට පත්ව ඇති කොවිඩ් - 19 නව ප්‍රභේදයෙන් ආරක්‍ෂා වීමට සැවොම කටයුතු කළයුතු බව” එතුමන් රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේය.

2020 මාර්තු මස සිට සියළුම පාර්ශවකරුවන් මේ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරමින් ආසාදිතයින් අවම කිරීම සඳහා සිදුකළ කර්තව්‍යය පිළිබඳව ද එතුමන් තවදුරටත් පැහැදිළි කළේය. මේ වන විට රට හුදකලා කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැති නමුත් සීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරසයේ නව ප්‍රබේදයේ ස්වභාවය පිළිබඳව මහජනයා හොඳින් තේරුම් ගතයුතු වන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතු බවත් පසුගිය අවුරුදු සමයේ කොවිඩ් - 19 වෛරසය නැවත හිස එසවීම හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී ද ආසාදිතයින්ගේ වර්ධනයක් අපේක්‍ෂා කළහැකි බව ද එතුමන් ප්‍රකාශ කළේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත, 2020 ජනවාරි මස මුලදී මේ වෙනුවෙන් කාර්ය සාධක බලකායක් පිහිටවූ බවත් සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එම කාර්ය සාධක බලකාය යටතේ කොවිඩ් - 19 වැළැක්වීම සඳහා මහඟු කාර්යභාරයක නිරත වූ බවත් යුද්ධ හමුදාධිපතුමන් පැවසීය. මාධ්‍ය ආයතන වලද සහයෝගය ඇතිව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග ඵලදායි ලෙස ක්‍රියාත්මක වූ අතර විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම, නිරෝධායනය කිරීම සහ ප්‍රතිකාර ලබාදීමේ කටයුතු ද සාර්ථකව සිදුකරගෙන ගිය බවද යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය. මහජනතාව ව්‍යාකූලත්වයට පත්කරනු ලබන අසත්‍ය තොරතුරු සමාජගත වීම වළක්වා සත්‍ය, පැහැදිලි පණිවිඩ සමාජගත කිරීමට කටයුතු කරන ලෙස එහිදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය ප්‍රධානීන්ට කියා සිටියේය.

“මෙය ජාතික වගකීමක් ලෙස සලකා සියලුම මාධ්‍ය ආයතනවල පූර්ණ සහයෝගය මේ වෙනුවෙන් ලබා ගැනීමේ අවශ්‍යතාවය ඇති බැවින් මෙම උවදුරෙන් මිදීම සඳහා මහජනයාගේ මානසිකත්වය යහපත් ලෙස පවත්වාගැනීමට මාධ්‍ය වෙත විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි නිසා ඒ පිළිබඳ ඔබේ පූර්ණ අවධානය යොමු කරන්නැයි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේය. රූපවාහිනී නාලිකාවලට තරඟකාරී වාණිජ සහ වෙනත් අවශ්‍යතා ඇතත්, පසුගිය වසරක කාලය තුළ කොවිඩ් - 19 පිළිබඳ තොරතුරු ලබාදීමේදී ඒ සියල්ල පසෙකලා ක්‍රියා කළ බව මතක් කළ අතර මෙම අවස්ථාවේදීද රෝගය පැතිරීම වැළැක්වීමේ ක්‍රියා පටිපාටිවලට අනුව කටයුතු කරන ලෙස මහජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම මෙම තීරණාත්මක අවස්ථාවේදී මාධ්‍ය ආයතන සතුව ඇති වගකීමක් වන බව ද” ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය.

එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් පෙන්වා දුන්නේ 'AstraZeneca Covishield' එන්නතේ දෙවන මාත්‍රාව එන්නත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර පළමු මාත්‍රාව පුද්ගලයින් 927,000 කට පමණ ලබා දී ඇති බවයි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු වල පෙරමුණ ගෙන කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ට මෙවරත් ප්‍රමුඛත්වය මත එන්නත් කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම, තවදුරටත් පැහැදිලි කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ රජයේ රෝහල් වල නවාතැන් පහසුකම් ලබාදීමට ධාරිතාවයක් නොමැති වුවහොත් ඒ සඳහා කලබල නොවිය යුතු බවත් යුද්ධ හමුදාව මගින් හෝටල් සහ වෙනත් ස්ථාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීම සඳහා සූදානම් බව ද පැවසීය.

වෛරසය ආසාදිත සෑම ශ්‍රී ලාංකිකයෙකුටම රෝහල් තුළ ඇඳක් ලබා දීමට කටයුතු කරන බවත් මීට පෙර කොග්ගල ප්‍රදේශයේ සිදුකළ ආකාරයට හෝටල් කිහිපයක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීම දැනටමත් සාකච්ඡා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙහිදී, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ එක්සත් රාජධානියේ කීලි විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ භෞතික විද්‍යා මහාචාර්ය අතුල සුමතිපාල මහතා ද සිය අදහස් ඉදිරිපත් කළහ.