Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2021 21:31:48 Hours

අලුත් අවුරුදු තේපැන් සංග්‍රහයේදී යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සේවය අගයයි

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ රාජකාරි කරන හමුදා සාමාජිකයින් හා සිවිල් කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදානුකූලව පිලියෙළ කරන ලද තේපැන් සංග්‍රහයක් අද (20) දින උදෑසන පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු අනෙකුත් ආරාධිතයින් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා තේපැන් සංග්‍රහය ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ.

මෙහිදි සියලුදෙනා ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, රටේ පවතින කොවිඩ් - 19 වෛරසයට එරෙහිව යුද්ධ හමුදා සාමාජිකයින් අනෙකුත් ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය අංශ සේවකයින් සමඟ එක්ව ඉටුකරනු ලබන කාර්යභාරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි කෘතඥතාවය පුදකළේය.

“කොවිඩ් - 19 වෛරසයට ගොදුරු වූ ප්‍රථම රෝගියාත් සොයාගැනීමට ප්‍රථමව හමුදා සාමාජිකයින් පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් වෛද්‍යවරුන් නොමැතිව හමුදා සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කාර්යය සාධක බලකායක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන් කටයුතු කළා. මනා කළමණාකාරිත්වයකින් යුතුව උපායමාර්ගික සැලැස්මකට අනුව කටයුතු කරමින් පසුගිය වසර එක හමාරක කාලය තුල දැඩි කැපවීමක් සිදුකර මෙම වෛරසය පාලනය කිරීමට හමුදා සාමාජිකයින් සමත් වුණා. වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම තුලින් අප අපේක්‍ෂා කරනු ලැබු ප්‍රතිඵලය වෙත ලඟාවීමට අපට හැකි වුණා. කෙසේ වෙතත්, මෙම වෛරසය මෙරටින් තුරන් කරන තුරු අප සතුව ඒ පිළිබඳ පූර්ණ වගකීමක් පැවරී ඇති බව අප මතක තියා ගත යුතු බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදි ප්‍රකාශ කළේය.

“මහජනතාව සමඟ නිරන්තරයෙන් සමීපව කටයුතු කරනු ලබන විනයගරුක සංවිධානයක් ලෙස අපගේ නිර්භීත සොල්දාදුවන් මහජනතාවගේ පැසසුමට හා ප්‍රසාදයට පාත්‍රවී ඇත. සමාජයේ තවදුරටත් ආසාදිතයින් නොවන වෛරසයේ වාහකයින් නිරන්තරයෙන් වෙසෙන අතර ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපැදීම ඔබ විසින් කළ යුතුයි. දශක තුනක් පුරා පැවැති යුද්ධය ජයගත් හමුදාවක් ලෙසඅපගේ කාර්යභාර්යේ ඵලදායී බව පෙන්නුම් කර ඇති නමුත් වෛරසය එක් පුද්ගලයෙකුට හෝ ආසාදනය වූහොත් නැවත වෛරසය පැතිරිමට එය හේතු විය හැකි බව” එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“මිලියන 22 ක ශ්‍රී ලාංකීය ජනග්‍රහනය අතරින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සියලුම සාමාජිකයින් සහ කොවිඩ් - 19 පාලන කටයුතු වල නිරතව සිටින පුද්ගලයින් සඳහා ප්‍රමුඛත්වයක් මත එන්නත ලබාදී ඇත. පසුගිය වසරේ අප මුහුණ දුන් පසුබෑම නොතකා අලුත් අවුරුද්දේ ඵලදායි ලෙස ඉදිරියට යා හැකි බව විශ්වාස කරමු. ජාතියක් හා සංවිධානයක් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවීමට අප අධිෂ්ඨානය කරගත යුතුයි. යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට අනුව සංවිධානයේ සිදුවිය යුතු වෙනස්කම් සිදුකරමින් මහජනතාවගේ පැසසුමට ලක්වූ සාඩම්බර වෘත්තීය නිපුණත්වයකින් යුතුව ඉදිරියට යාමට අප සැමට හැකි විය යුතු බව” ද එතුමන් ප්‍රකාශ කරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධයේදී දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිපත් කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා තුවාල ලබා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය. යුද්ධ හමුදා සේවා කාලය තුළ අනුපමේය සේවයක් ඉටුකරනු ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සියලුම සෙසු නිලයින්ට ද උදා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සුභපැතුම් පිරිනැමුවේය. එමෙන්ම, යුද්ධ හමුදාධිපතිපතිතුමන් මෙහිදී සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ද අලුත් අවුරුදු සුභපැතුම් එක්කරන ලදී.

උත්සවය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවට සහභාගී වූ සියලුදෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.