Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2021 15:00:03 Hours

තෙවැනි වරටත් පැවැත්වෙන හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ඇරඹේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ තෙවන වරටත් පැවැත්වෙන හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අද (12) දින යාපනය මයිලඩි ප්‍රදේශයෙන් ආරම්භ විය. දින පහක් පුරා පැවැත්වෙන මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය යාපනයේ සිට මින්නේරිය දක්වා කිලෝ මිටර් 457.2 ක දුරකින් සමන්විතය.

මෙම ක්ෂේත්‍ර අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ගාවෝ ප්‍රදේශයේ දී සිදුකිරීම‌ට නියමිත අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහනය කරන වාහන රැලි සඳහා ආරක්‍ෂාව සැපයීමේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන භට පිරිස් වෙත ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමයි.

මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වය යටතේ සන්නාහ සන්නද්ධ බලකාය, ඉංජිනේරු රෙජිමේන්තුව , සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, යුද හමුදා සේවා බලකාය, යුද හමුදා වෛද්‍ය බලකාය, යුධෝපකරණ බලකාය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, පොලිස් හේවා බලකාය, යුද හමුදා පොදු සේවා බලකාය නියෝජනයවන පරිදි නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් 223ක් සහභාගී වෙයි. අභ්‍යාසය සඳහා සන්නද්ධ රථ 06ක්, යුනි බෆල් රථ හයක්, භාණ්ඩ ප්‍රවාහන රථ 19ක් ඇතුළුව යුද හමුදා රථ 47ක් යොදා ගනු ලැබේ.

හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස රථ මයිලඩි, පේදුරුතුඩුව, නගර් කෝවිල්, වෙත්තලකේනි, පරන්තන් විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු, මුලතිව්, නයාරු, වැලිඔය, පදවිය, පුල්මුඩේ, තාවුල්වැව, ගෝමරන්කඩවල, ත්‍රිකුණාමලය, කින්නියා, මූතූර් සේරුනුවර, කන්දකාඩු, පුලතිසිගම, පොළොන්නරුව, ගිරිතලේ හරහා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාව දක්වා පැමිණීමට නියමිතය.

මෙම සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් ගජබා රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් බීඒඩීඑන්කේ බුලත්සිංහල කටයුතු කරන අතර දෙවන අණසෙන නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ලසන්ත උඩගෙදර කටයුතු කරනු ලබයි.මෙ සංග්‍රාමික ප්‍රවාහන රාජකාරි ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 2017 වර්ෂයේ සිට මේ දක්වා මාලි රාජ්‍යයේ අඛණ්ඩව සිදු කරන අතර ඒ සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාව හා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් භට පිරිස් සහභාගී වී ඇත.

මෙහි පළමු අදියර අද (12) උදෑසන මයිලඩි ප්‍රදේශයෙන් ආරම්භ අයියකච්චි ප්‍රදේශයේ කුවේණි හන්දිය දක්වා කිලෝ මීටර් 75.6ක දුරක් පැමිණීමට නියමිතය.

ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස රථ පෙළපාලියේ සමාරම්ක අවස්ථාවට 58 සේනාංකයේ සේනාධිපති සහ හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් චම්පක රණවක සහ 62 සේනාංකයේ සේනාංකාධිපති සහ හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහභාගී වූ අතර සමස්ත අභ්‍යාසය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකිරීමට නියමිතයි. bridge media | UK Trainer News & Releases