Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2021 10:29:46 Hours

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පූර්වගාමී මෙහෙවරෙහි යෙදෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට AstraZeneca Covidshield එන්නත ලබාදීම ඇරඹේ

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරනු ලැබූ AstraZeneca Covidshield එන්නත දිවයින පුරා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පෙරමුණේ සේවය කරන යුද්ධ හමුදා භටපිරිස් වෙත ප්‍රථමයෙන් ලබාදෙනු ලබන අතර එහි පළමු මාත්‍රාව ඔවුන් වෙත ලබාදීමේ කටයුතු අද (29) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ විය.

කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් ගේ ආශ්‍රිතයින්ගේ නිරෝධායන කටයුතු සහ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ කාර්යභාරයේ ප්‍රමුඛ කර්තව්‍යයක් ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සක්‍රීයව දායක වන අතර ඒ වෙනුවෙන් ඔවුන් වෙත අද (29) දින සිට දිවයින පුරා යුද්ධ හමුදා රෝහල් 15 ක් ඔස්සේ එන්නත් කිරීමේ කටයුතු සිදුකරනු ලබයි. එහිදී, පළමු එන්නත යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් සවීන් සේමගේ වෙත එන්නත් කිරීමෙන් පසුව, යුද්ධ හමුදාවේ තවත් සාමාජිකයින් දෙපලක් වෙත එන්නත් ලබාදෙනු ලැබිණි.

මෙම එන්නත් ලබාදීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සියලු වෛද්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත්හ. මෙම එන්නත් තොගය ඉන්දියානු රජය විසින් මෙරටට පරිත්‍යාග කළ පළමු එන්නත් තොගය වන අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් එම තොගය පසුගිය දා නිල වශයෙන් භාරගනු ලැබීය.

ඒ අනුව, ‘පළමුව අසල්වැසියා’ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියාවේ ප්‍රධාන රසායනාගාරය හරහා නිෂ්පාදනය කරන ලද එන්නත් 500,000 ක ප්‍රමාණයේ පළමු තොගය බ්‍රහස්පතින්දා (28) දින A1 281 නම් එයාර් ඉන්දියා ගුවන් යානය මගින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

මෙහිදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින්, “එක් පුද්ගලයෙකු වෙනුවෙන් මාත්‍රා දෙකකින් එන්නත් කරන මෙම ‘Covishield’ එන්නත ජාතික බෝවන රෝග විද්‍යායතනය (අයිඩීඑච්), කොළඹ ජාතික රෝහල, රාගම රෝහල, කොළඹ යුද්ධ හමුදා රෝහල සහ පනාගොඩ යුද්ධ හමුදා රෝහල ඇතුළු තවත් රෝහල් හයකදී අද (29) දින එන්නත් කිරීම ආරම්භ කරන ලදී. හෙට සිට එය සැලසුම් කර ඇති පරිදි අනෙකුත් ප්‍රදේශවලට සහ සියලුම හමුදා රෝහල් වෙත ප්‍රවාහනය කරන බවත් මේ වනවිට මෙම එන්නත ලබාදීම ප්‍රමුඛතාව මත ලැයිස්තුගත කර ඇති අයවළුන්ට පමණක් සීමා කර ඇති අතර සමස්ත වැඩසටහනම විනිවිදභාවයෙන් යුක්ත වනු ඇති බව” ප්‍රකාශ කළේය.

මේ අතර, දිවයින පුරා පිහිටි සියලුම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථාන, රෝහල් සහ ගුවන්තොටුපළ මෙහෙයුම්වල යෙදී සිටින නාවික හා ගුවන් හමුදා සාමාජිකයින්ට සහ පොලිස් සාමාජිකයින්ට මූලිකත්වය ලබාදී ‘Covishield’ එන්නත ලබාදීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උපදෙස් ලබාදුන්නේය. Nike shoes | M2k Tekno