Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2020 22:24:31 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නව වැඩපළ සහ නවෝත්පාදන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිෂ්පාදනය කර හදුන්වාදුන් නිර්මාණාත්මක නවෝත්පාදන සහ බර වාහන නිෂ්පාදන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් කොස්ගම පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේදී පසුගිය (12) දින නිරීක්‍ෂණය කරන ලදී. එසේම, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවීන කර්මාන්ත ශාලාව ඉදිකරීම සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් මුල් ගල් තැබීම මෙහිදි සිදුවිය.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් උසස් ප්‍රමිතියෙන් යුත් නව වාහන කිහිපයක් නිෂ්පාදනය කළ අතර එසේ නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ මේ වනවිටත් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වලදී යොදාගැනීම සිදුකෙරේ. එමෙන්ම, රට තුළ පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ කටයුතු වෙනුවෙන් තාක්‍ෂණික උපකරණ සහ වාහන සපයමින් එම කර්තව්‍යය වෙනුවෙන් ඔවුන් දක්වන සහයෝගය සුවිශේෂී ඇගයීමට ලක්වූ අතර ඒ තුලින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ශ්‍රම බලකාය සතු නව්‍යකරණ තාක්‍ෂණික දැනුම ඉස්මතු කර පෙන්වන බවත් එය සැබවින්ම සෑම යුද්ධ හමුදා සාමාජිකයෙකුටම ආඩම්බර වියහැකි කරුණක් ලෙසත් එහිදී භටපිරිස් අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් පවසන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධාක මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත එම රෙජිමේන්තු මූලික වැඩපළ පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීම ද සිදුකෙරිණි.

එම රෙජිමේන්තුවේ මීට පෙර පැවති කර්මාන්ත ශාලාව එම රෙජිමේන්තු කර්මාන්ත සංකීර්ණයේ කුඩා බිම්කඩක ස්ථාපනය කර තිබිණි.

අක්කර 4 ක් පුරා පැතිරුණු මෙම මූලික වැඩපළ ත්‍රිවිධ හමුදාවන් විසින් සිදුකරනු ලබන ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය සහ ජාතික ආරක්‍ෂක කර්තව්‍යයන් සඳහා අවශ්‍ය වන බර වාහන නිෂ්පාදනය සඳහා යොදාගැනේ. යුධ, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදාවලට තිබෙන විශාලතම මූලික වැඩපළ ලෙස මෙම වැඩපළ අනාගතයේදී නවෝත්පාදනයන් රැසක් හඳුන්වාදීමට නියමිතය. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග ගේ උපදෙස් පරිදි විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් එම රෙජිමේන්තුවේ පිහිටි භූමි භාගය පරිපූර්ණ වැඩපළක් බවට පත්කිරීම සඳහා මහත් ප්‍රයත්නයක් ගත්හ. මෙම වැඩපළ ආරම්භ කිරීමෙන් පසු නිෂ්පාදනය කරනු ලබන නවීන උපාංග, හමුදාවන් භාවිත කරනු ලබන බර වාහන ආදිය මෙරටදීම නිෂ්පාදනය කිරීමට හැකිවන නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වේ.

මෙම වැඩපළේදී ඉතා පැරණි හමුදා ජීප් රථයක් ප්‍රතිසංස්කරණය කරමින් නිපදවන ලද දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි වාහනයකින් සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා පෙළපාළි භූමියට රැගෙන යන ලදී. ඉන් අනතුරුව, භටපිරිස් විසින් පිරිනැමූ සම්මාන මුරය විශේෂ පීඨිකාවේ සිට පිළිගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කිරීම සඳහා කොස් පැළයක් ද රෝපණය කළේය. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නවීන මූලික වැඩපළ ඉදිකිරීමේ ව්‍යාප්තියේ සමාරම්භය සනිටුහන් කරමින් ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් දුරස්ථ පාලකයක් භාවිත කරමින් සමරුඵලකය විවෘත කරමින් වැඩපළෙහි වැඩකටයුතු ඇරඹුම සනිටුහන් කරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් දැනට පවතින වැඩපළ පරිශ්‍රය වෙත ගොස් එහි පිහිටි කුඩා අංග අංශය විවෘත කළ අතර, එහිදී, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු නවෝත්පාදකයින් විසින් නිපදවන ලද වාහන කිහිපයක් (ඇවලෝන් 6x6 (Avolon), අයිනොව් 4x4 සහ යුනිකෝල්ට්) පරික්‍ෂා කළේය. කැමරා, ඩ්‍රෝන් ආදි නවීන උපාංගයන්ගෙන් සමන්විත වෙඩි නොවදින පහසුකම් ආදියෙන් සමන්විත ආඇවලොන් 6x6 රථයට ඕනෑම භූමි ප්‍රදේශයක සිට කෘතීම බුද්ධිය භාවිත කරමින් තොරතුරු රැස් කිරීමේ හැකියාව පවතී.

මෙම රථය එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා භාවිත කිරීමට සැලසුම් කොට ඇති අතර එහි නිෂ්පාදන කටයුතු නුදුරේදි පුළුල් ලෙස සිදුකරිමට සැලසුම් කොට ඇත. ඉන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාගැනීමේ අවස්ථාවද උදාවනු ඇත.

යුද්ධ හමුදාධිපති භටපිරිස් ඇමතීමෙන් පසු මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග විසින් මෙම අවස්ථාවට සහභාගී වීම අගය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. ඉන් පසු, විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ යුද්ධ හමුදාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට ද එක්විය.

මෙම අවස්ථාව සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක්ද සහභාගී වූහ. Best Sneakers | jordan Release Dates