Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2020 14:29:41 Hours

කුරුවිට ගැමුණු හේවා බලකායේ සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් යුද්ධ හමුදාධිපතිතුමන් අරඹයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (06) දින ගැමුණු හේවා බලකාය විසින් සංවිධානය කරන ලද සුභසාධන ව්‍යාපෘතීන් රැසක ආරම්භය සනිටුහන් කිරීම සඳහා සහභාගී වූ අතර, එම ව්‍යාපෘතීන් අතර, යුද්ධයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් කෘතීම අත් පා පරිත්‍යාග කිරීම, නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය විවෘත කිරීම හා රණවිරු සුභසාධනය අරමුණු කොටගෙන පැවති ලොතරැයි ජයග්‍රහණයන් සඳහා ත්‍යාග ප්‍රදානය ආදි අවස්ථාවන් විය.

මෙම වැඩසටහන් මාලාවේ පළමු වැන්න ලෙස ගැමුණු හේවා භටපිරිස් විසින් එම සේවා වනිතා ඒකකයෙහි මූල්‍යමය ශක්තිය තුළින් රත්නපුර දිස්ත්‍රික්කයේ නන්පේරියල් වතුයායෙහි ගොඩනගන ලද නවීන පහසුකම්වලින් සමන්විත නිවාඩු නිකේතනය (Peacock Feather) ආගමික වතාවත් මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සපැමිණි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විවෘත කරන ලදී.

මනරම් බෙලිහුල්ඔය ප්‍රදේශයේ නිමවා ඇති මෙම නව නිවාඩු නිකේතනය වායූසමීකරණය කරන ලද කාමර සහ නවීන ගෘහ විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩයන්ගෙන් යුක්ත වේ. මෙහි ගොඩනැගීම සඳහා 7 වන ඉංජිනේරු සේවා බලකාය තාක්‍ෂණ සහය ලබාදුන් අතර, ගැමුණු හේවා බලකා භටපිරිස් විසින් ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී. මෙම ගොඩනැගිල්ලෙහි පූර්ණ වටිනාකම රුපියල් මිලියන 8.9 වන අතර, එම මුදල් රෙජිමේන්තු සුභසාධක අරමුදල් සහ සේවා වනිතා අරමුදල්, රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චූල අබේනායක ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධික්‍ෂණය යටතේ සහ ගැමුණු ‍හේවා බලකා සේවා වනිතා ඒකකයේ ප්‍රධානි අවන්ති අබේනායක මහත්මියගේ අධීක්‍ෂණය යටතේ යෙදවිණි.

මෙම නව නිවාඩු නිකේතනය ගැමුණු හේවා බලකා නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුලු සමස්ථ ශ්‍රි ලංකා යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් මෙන්ම මහජනතාව සදහා ද ඉතා සාධාරණ මිල ගණන් යටතේ සේවා පහසුකම් ලබාදීමට සැලසුම් කොට ඇත.

මෙම උත්සවයට සමගාමීව ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ගැමුණු හේවා බලඇණියේ ආබාධිත වීරෝධාර රණවිරුවන් සඳහා නව කෘතිම අත් පා කට්ටල බෙදාදෙනු ලැබීය. ඒ සඳහා කර්නල් රිසාන් හැමිඩන් (Rizan Hamidon) සහ එම මැතිණිය වන මුම්ටාස් හැමිඩොන් (Mumtaz Hamidon) මහත්මිය ගේ සම්බන්ධීකරණය මත පරිත්‍යාගශීලින් පිරිසක් විසින් මූල්‍යමය අනුග්‍රහය ලබාදී ඇත.

ඉන් අනතුරුව, ගැමුණු හේවා රෙජිමේන්තු සුභසාධන අරමුදලට අරමුදල් එක්රැස් කිරිමේ අරමුණින් පැවැත්වීමට නියමිතව තිබු ‘මිනිපුර ගැමුණු නද’ වෙළඳ ප්‍රදර්ශණය සහ සංගීත ප්‍රසංගය - 2019 ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කළේය.

මෙම ලොතරැයි දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගය ප්‍රදානය කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ආරාධනා කළ අතර එහිදී, අංක 210377 ලොතරැයිපත් හිමි ජයග්‍රාහකයා රුපියල් මිලියන 1.9 ක වටිනාකමකින් යුත් මහින්ද්‍රා විද්‍යුත් මෝටර් රථයක් ද, 2 වන ජයග්‍රාහකයා විසින් මහින්ද්‍රා ත්‍රිරෝද රථයක් සහ 3 වන ජයග්‍රාහකයා මහන්ද්‍රා යතුරුපැදියක් ද ලබාදුන්නේය.

මෙම වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ‘හයිලෑන්ඩර්ස්’ ඉකෝ ඇන්ඩ් ඇඩ්වෙන්චර් හොලිඩේ රිසෝට් (‘Highlanders’ Eco& Adventure Holiday Resort) වෙබ් අඩවියේ (www.highlandersecoresort.lk) සමාරම්භය සනිටුහන් කළේය‍.

මෙම අවස්ථාවට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ගැමුණූ හේවා බලකා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.

මෙහිදී, ලොතරැයි දිනුම් ඇදීමේදී ජයග්‍රාහකයින් අතර මහින්ද්‍රා විද්‍යුත් මෝටර් රථ, මහින්ද්‍රා ත්‍රී රෝද රථ, මහින්ද්‍රා යතුරු පැදි, ස්කූටර්, LED රූපවාහිනි යන්ත්‍ර, ස්මාර්ට් ජංගම දුරකථන සහ ගෘහ භාණ්ඩ මෙන්ම සැනසිලි ත්‍යාග රැසක් ද පිරිනැමීය. Best Sneakers | adidas