Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2020 21:43:07 Hours

‘බුරවි’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවිය හැකි හදිසි අවශ්‍යතාවන් සඳහා වන්නි භටපිරිස්හි සුදානම යුද්ධ හමුදාධිපති සොයාබලයි

නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ දිවයිනට ඇතුලුවන ‘බුරවි’ සුළි කුණාටුව පුල්මුඩෙයි, කොකිලායි, වවුනියාව සහ මන්නාරම යන ප්‍රදේශ හරහා ගමන් කිරිමත් සමඟ ඇතිවන අවදානම් තත්ත්වයට මුහුණදීම සඳහා භටපිරිස් හි සුදානම කෙසේවිය යුතුද සිහිතබාගත යුතු මුලිකාංග කවරේද යන්න අද (02) දින උදෑසන වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේහි සංචාරයක නිරත වු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා භටපිරිස් අමතමින් වඩාත් අවධානයට යොමුකරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ රැස්ව සිටි පිරිස අමතමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙසේ පැවසීය. “ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලෙස මගේ යුතුකම වන්නේ, රටට ඇතිවන ඕනෑම හදිසි අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා සියල්ල සුදානම් කිරිමයි. එය අද දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති වශයෙන් ඔබ ඉදිරියේ හිදින මා සතු බොහෝ වගකිම වන අතර ඉතා හදිසියේ අද දින ඇතිවිය හැකි අනතුරුදායක කාලගුණික තත්තවය සඳහා වඩාත් සුදානම්ව සිටිම, ඊට අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය හා සහයෝගය, අවශ්‍ය ගලවාගැනීම් ක්‍රියාන්විතය සුදානම, ආපදාවක් සිදුවුවහොත් ඉන් අනතුරුව සහන ක්‍රියාන්විත සිදුකිරීම තුළින් ජනතාවගේ සුරක්‍ෂිතභාවය සහතික කිරීම ප්‍රධාන කරුණක්. මේ අවස්ථාවේදී පමණක් නොවේ ඕනෑම ව්‍යවසනයකදී ජාතියේ ආරක්‍ෂකයින් ලෙස අප විසිහතර පැය පුරා සුදානමින් සිටිනවා. අප සතු විවිධ හැකියාවන් ශක්තින් තුළින් ඕනෑම අභියෝගයක් ජයගැනිමේ මැඩලීමේ හැකියාව නිසකයෙන් පවතිනවා” ලෙස වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ රැස්ව සිටි භටපිරිස් අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරන ලදී.

එසේම “ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සමීප සම්බන්ධීකරණයෙන්, ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ, අනෙකුත් උපකරණ, බර වාහන සහ භටපිරිස් ස්ථානගත කරමින් මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා ගතහැකි සියලු පූර්වාරක්‍ෂක පියවරයන් මේ වනවිටත් ගෙන ඇති බවත් අප ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට සහ ඔවුන්ට ආරක්‍ෂාව සහතික කිරීම කළ යුතු බව මතක තබා ගත යුතු” යැයි ද එතුමන් පැවසීය.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළේය. ඉන් අනතුරුව, මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘සඳුන්’ පැළයක් ද රෝපණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. පසුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට එක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළේය.

වන්නි භටපිරිස් අමතා සිදුකළ දේශනයේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුධමය වශයෙන් පරිපූර්ණ වූ සොල්දාදුවෙකු ලෙස වන්නි ප්‍රදේශයේ තමාට ඇති සමීපතාවය සිහිපත් කළ අතර, සහජීවනය හා සංහිඳියාව, ආගමික හා සංස්කෘතික මෙන්ම ජනවාර්ගික සහ ආර්ථික වශයෙන් සුවිශේෂිත්වයක් ඇති වන්නි ප්‍රදේශයේ වැදගත්කම පෙන්වා දුන්නේය. එමෙන්ම, සියලු ජනවර්ගයන්හි ජනතාව අතර සමගිය හා සංහිඳියාව පවත්වා ගනිමින් සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව එතුමන් භටපිරිස් පැසසුමට ලක් කළේය.

එසේම, “වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස 654 ක් මේ වනවිට ඉදිකරදීමට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය පෙරමුණ ගෙන කටයුතු කර තිබිම තවත් සුවිශේෂි මානුෂිය මෙහෙවරක් බවත් ප්‍රදේශයට උපරිම ආරක්‍ෂාවක් ලබා දෙන අතරම, අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ අනෙකුත් සියලුම සමාජ විරෝධී ක්‍රියා සහ පාරිසරික විනාශයන් මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරිමද මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය. එමෙන්ම, අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි, ‘සෞභාග්‍යයේ දැක්ම’ අපගේ හැකියාවන් කෙරෙහි ඉහළම විශ්වාසය තබා ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්යෙහිදී අප වෙත පවරා ඇති වගකීම වෘත්තිකයන් වශයෙන් එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලුදෙනා කැපවී කටයුතු කළ යුතු බව ද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතිය ගොඩනැගිමේ කාර්යභාර්ය සඳහා වගකිව යුතු නව ඉංජිනේරු සේනාංකයක්, ආරක්‍ෂක පියවර තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ඩ්‍රෝන් රෙජිමේන්තුවක් සහ කෘෂිකාර්මික හා පශු සම්පත් රෙජිමේන්තුව යටතේ බලඇණි පහක් සහිත බලකායක් නුඳුරේදී ස්ථාපිත කිරීම යුද්ධ හමුදාව නව මාවතක් කරා ගෙනයනු ලබන අතරම රටේ ඇතිවන ඕනෑම ජාතික තර්ජනයකදී හෝ හදිසි අවස්ථාවකදී මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා ජාතියේ භාරකරුවන් ලෙස ප්‍රථමයෙන් ප්‍රතිචාර දැක්වීමද අප සතු සුවිශේෂි හැකියාව බැව් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු වැඩිදියුණු කරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මහනුවර ප්‍රදේශයේ නව යුද්ධ හමුදා රෝහලක් ඉදිකිරීම තුලින් යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට කඩිනමින් වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව පුළුල් වන බවද පැවසීය. තවද, කොළඹ යුද්ධ හමුදා රෝහල් සංකීර්ණය තුළ මහල් 15 කින් යුත් තවත් නව රෝහල් ගොඩනැගිල්ලක් මේ වනවිට ඉදිකරමින් පවතින අතර, ඒ තුලින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට තවත් ඉහළ මට්ටමේ වෛද්‍ය පහසුකම් ලබාදීමට රෝහලට හැකි වනු ඇති බව ද එතුමන් තවදුරටත් සිහිපත් කළේය. එසේම, සමාජයේ ඇති විවිධ උත්සව, මංගල උත්සව සහ භෝජනාගාරයන් සඳහා සහභාගි වන අවස්ථාවලදී යුද්ධ හමුදා ප්‍රතිරූපය තවදුරටත් ප්‍රවර්ධනය කළ හැකි නව නිල ඇඳුම් කට්ටලයක් හඳුන්වාදීමට ද සැලසුම් කර ඇති අතරම විවිධ අංශයන්ගේ සහය මත හෝ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරනු ලබන අනෙකුත් සුභසාධන ව්‍යාපෘති පිළිබඳව ද එතුමන් මෙහිදි වැඩිදුරටත් සිහිපත් කළේය.

මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරල් රන්ජන් ප්‍රේමලාල්, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වසන්ත ආබෘ, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ඇතුළු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. latest Running Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK