Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2020 20:21:30 Hours

යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේදී ‘කිරි’ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපෘතියක් අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, සෙසුනිලයින්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් විවිධ සුභසාධන ව්‍යාපෘතින් දියත් කරන ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකය විසින් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘ගැලන්ට්’ යෝගට් සහ කිරී ආශ්‍රිත නිෂ්පාදනාගාරය අද (19) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.

ඉතා ගුණාත්මකව හා සෞඛ්‍යාරක්‍ෂිතව නිපදවනු ලබන මෙම නිෂ්පාදනයන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ පිහිටා ඇති සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ සුභසාධක වෙළඳසැල් වෙතද නුදුරේදී බෙදාහැරීමට අපේක්‍ෂා කෙරේ. ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයනාත් ජයවීර ලබාදුන් උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අනුජා ජයවීර මහත්මියගේ අධීක්ෂණය මත ක්‍රියාවට නැංවූ මෙම නිෂ්පාදනාගාරය ස්ථාපිත කිරිම සදහා බටහිර පළාත් කිරි සංවර්ධන මණ්ඩලයේ අංශ ප්‍රධානි ආචාර්ය දේවිකා ගමගේ මහත්මියගේ ද දායකත්වය හිමි විය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මෙම කිරි ආශ්‍රිත නිෂ්පාදනාගාරය විවෘත කෙරිණි. පසුව, සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා නව නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සනිටුහන් විය. මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවට සහභාගී වී සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සියලු නිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වීමට ද අමතක නොකළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යාමට ප්‍රථම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive-past) ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයනාත් ජයවීර විසින් මහත් හරසරින් යුතුව යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගත් අතර, උත්සවය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය අගය කරමින් මේජර් ජෙනරල් ජයනාත් ජයවීර සමරු තිළිණයක් ද පිරිනැමීය.

මෙම උත්සවය සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චූල අබේනායක, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනීතා ඒකකයේ සභාපතිනි අනුජා ජයවීර මැතිණිය, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ සෙසුනිලයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වූහ. Nike Sneakers Store | Nike Air Max