Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2020 18:15:52 Hours

අවදානමට ලක්ව ඇති ප්‍රදේශයන්හි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකාය සාකච්ඡාවක් පවත්වති

මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ සඳහා පමණක් ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ තවත් සාකච්ඡාවකදී තීරණය විය. ඉකුත් සිකුරාදා (23) දින පස්වරුවේ රාජගිරියේ පිහිටි එම මධ්‍යස්ථානයේදී පැවැති මෙම සාකච්ඡාවේදී කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමත්, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමත්, පොදු උත්සව හා රැස්වීම් නොපැවැත්වීම සහ මහජනතාවගේ වගකීම් විරහිත ක්‍රියා අවම කිරීම තුළින් වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාවලිය පිළිබඳව අඩු සැලකිල්ලක් දැක්වීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියේදී දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් සඳහා පියවර ගතයුතු බැව් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු කාර්යසාධක බලකායේ සාමාජිකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ් - 19 පැතිරීම හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය. දෙමටගොඩ, මෝදර, වැල්ලම්පිටිය, කොටහේන යන ප්‍රදේශ තුළ ජනගහනය අධික වීම හේතුවෙන් වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගොස් වෛරසය ආසාදිත පුද්ගලයින් වැඩි වශයෙන් වාර්ථා වීමේ ප්‍රවණතාවය මත හා දෙමටගොඩ මත්ස්‍ය වෙළෙඳපළ තුලින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් හමුවීමත් ඒ ආශ්‍රිතව ආසාදිතයන් වර්ධනය හා නිරෝධායන ඇඳරි නිතියේ වත්මන් තත්වය හා තවදුරටත් ක්‍රියාත්මක කිරීම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

තවද, සමස්ත ජාතියේ අභිවෘද්ධිය උදෙසා කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරගැනීමට පවතින ශක්තීන්, දුර්වලතා, තර්ජනයන් ආදිය විශ්ලේෂණය සහ වර්තමාන උපාය මාර්ග පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡා කෙරිණි.

කෙසේ වෙතත්, දිවයින පුරා පැතිර යන වෛරසයේ හේතුවෙන් විශේෂයෙන්ම වරාය ආශ්‍රිත ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා කළේය. “විශේෂයෙන්ම, ගාල්ල, අළුත්ගම -බේරුවල ඇතුළු අවදානම් සහිත වරායන් තුලින් වැඩි වැඩියෙන් වෛරසය ආසාදිත පුද්ගලයින් වාර්තා වන බැවින් ඉදිරි පැය 24 වඩාත් තීරණාත්මක බවත් පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් වැඩි පිරිසක් ඍජුව හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වී ඇති ප්‍රදේශවල සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයින් වෙනුවෙන් PCR පරීක්‍ෂණ වැඩි වශයෙන් සිදුකර ඇති බවත්” යුද්ධ හමුදාධිපතිතුමන් රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේය‍.

එමෙන්ම, අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සෞඛ්‍ය මාර්ගොපදේශ පිලිපදිමින් තම නිවෙස් තුල සුරක්‍ෂිතව රැදීසිටින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටි අතරම ඇඳන් 400 ක් සහිත යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන ගිය ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය මේ වනවිට කොවිඩ් - 19 සඳහා ප්‍රතිකාර කිරීමේ රෝහලක් බවට පරිවර්තනය කර අද (23) දින සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදුන් බව ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි ප්‍රකාශ කළේය. සෞඛ්‍ය සේවකයින් අතර වෛරසය ආසාදනය වීමේ අවදානම බෙහෙවින් අවම කරගැනිම සඳහා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අඛණ්ඩව පිළිපදින ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. latest Running | Gifts for Runners