Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2019 20:40:33 Hours

දකුණේ පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහකත්වය මත මූලතිව් සිසුන් 220 කට සහ යාපනයේ සිසුන් 250 කට පාසල් උපකරණ

මූලතිව් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත්වූ පිරිස් පිළිබඳ සිය අවධානය යොමු කරමින් සිසුන් 220 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ සිසුන් විසින් බදාදා (16) දින මූලතිව් චෙම්මලෙයි මහා විද්‍යාලයේ දී බෙදාදෙන ලදී.

සහෝදරත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ තවත් එක් පියවරක් ලෙස පැවැත්වූණු මෙම වැඩසටහන මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ අධීක්‍ෂණය යටතේ කර්නල් ලංකා අමරපාල විසින් සම්බන්ධිකරණය කරන ලද අතර විදුහල්පතිතුමන් ඇතුළු එම විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට සමගාමීව, යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් යාපනය ප්‍රදේශයේ පාසල් හතරක සිසුන් සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අඩංගු පාර්සල් 250 ක් ප්‍රදානය කිරීම සෙනසුරාදා දින සිදුවිය. යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම නගාසිටුවීමේ අරමුණින් පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙම වැඩසටහන දියත් කරන ලදී.

ඒ අනුව, තොල්පුරම් AMTM පාසල හා විග්නේශ්වර පාසල, චුලිපුරම් වික්ටෝරියා විද්‍යාලය සහ මූලායි සිවප්‍රගාසා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සඳහා කාකතිවූ සහ තොල්පුරම් ප්‍රජා මධ්‍යස්ථානවල පවත්නු ලැබු උත්සවයන්හිදී පාසල් උපකරණ බෙදාදෙන ලදී.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන නයිලිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති චන්දන තිලකසිරි මහතා සහ රවින්ද්‍ර දිසානායක මහතා ‘බෝසත් සමාජ සත්කාර පදනම’ සමඟ එක්ව දියත් කල අතර පරිත්‍යාගශීලින් සමඟ පාසල් උපකරණ බෙදාදීමේ අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියන්ත ගමගේ එක්ව සිටියහ.

මෙම අවස්ථාව සඳහා පාසල්වල ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන් මෙන්ම යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. affiliate link trace | Nike nike dunk high supreme polka dot background , Gov