Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2018 14:48:01 Hours

පොසොන් සතිය නිමිති කොටගෙන බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පවත්වනු ලබන ධාතු වන්දනාව යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මේ දිනවල නැගෙනහිර පළාතේ පැවැත්වෙන පොසොන් සැමරුම් උත්සවයන් නැරඹිම සඳහා නැගෙනහිර පළාතේ නිරික්ෂණ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙම සංචාරය අතරතුර අම්පාර සටන් පුහුණු පාසලේහි ක්‍රීඩාගාරයක් සහ 24 වන සේනාංක මුලස්ථානයේ නිලධාරි නිවස්නය ද විවෘතකිරිමේ අවස්ථාව සඳහා එක් වූ අතර, සිකුරාදා (29) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල හා එක්ව අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ ‘පොසොන්’ සැමරුම් වැඩසටහන සඳහා ද සහභාගි වූහ.

මෙම ආරණ්‍ය සේනාසනයේ සැමරුම් වැඩසටහනේ සිකුරාදා (29) දිනය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා වෙන්කර තිබු අතර, ආරණ්‍යවාසී පුජ්‍ය සුසීම ස්වාමීන්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සධාතුක කරඩුව පෙරටුකරගත් අලංකාරවත් පෙරහැරකින් බුද්ධ පුජාව සහ අනෙකුත් පුජාවන් බුද්ධ මන්දිරය වෙත රැගෙන යන ලදී. මෙහිදී සධාතුක කරඩුව වැඩම කරවීම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාව සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු එම සේනාංක භට පිරිස් එක්වුහ.

එහිදී එම ආරණ්‍යවාසී භික්ෂූන්වහන්සේ විසින් යුද්ධ හමුදාවට ආශිර්වාද කරන ලද අතර කෙටි අනුශාසනාවක් සිදුකරමින් දිවයිනේ සංවර්ධනයට සහ එහි ආරක්‍ෂාව සඳහා අනාගතයේ දී වැදගත් වන අභියෝගාත්මක කාර්යභාරයන් පිළිබඳව පැහැදිලිකිරීමක් ද සිදුකරන ලදී. එමෙන්ම 2009 මැයි මාසයට පෙර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මෙම ආරණ්‍ය සේනාසනය පවත්වාගෙන යාම සඳහා අඛන්ඩව තර්ජනයන් එල්ල කර තිබියදීත්, මෙම පුජනීය ස්ථානය රැක ගැනීම උදෙසා නොසැලෙන සහයෝගයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෘතඥතාවය පුද කරන ලදී.

මෙම අනුශාසනාව අවසානයේ එම භික්ෂූන්වහන්සේ විසින් පොසොන් සතිය නිමිත්තෙන් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරිම සඳහා ධාතුන් වහන්සේ වැඩසිටින සධාතුක කරඩුව විවෘත කිරිමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කල අතර නිලධාරින් මෙන්ම සෙසුනිලයින් හා බැතිමතුන් විශාල පිරිසක් ද මෙම මහගු පිංකම සඳහා එක්ව සිටියහ.

latest Running | Shop: Nike