Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th March 2018 23:41:39 Hours

යාපනයේ අවතැන් වූ ජනතාව වෙත තවත් නිවාස පහසුකම්

යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් සඳහා ‘නල්ලිනක්කපුරම්’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් සිකුරාදා (30) දින නලිනක්කපුරම් ගම්මානයේ පැවති සරල උත්සවයක දී තවත් නව නිවාස 25 ක් ලබාදෙන ලදි.

එසේම කීරමලේ නිවාස ව්‍යාපෘතියේ දී අවතැන් වූ පවුල් සඳහා නිවාස ඉදිකර දුන් අතර, මෙම නව නිවාස ව්‍යාපෘතිය එහි දෙවන අදියර වේ. ඒකාබද්ධ ව්‍යාපෘතියේ කළමණාකරණ කණ්ඩායම (Joint Project Management Team), යුද්ධ, නාවික, ගුවන් හමුදා සාමාජිකයින් සහ ප්‍රතිලාභීන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

කීරමලේ නිවාස ව්‍යාපෘතියේ දී මෙන්, මෙහි පර්චස් 20 ක භුමි ප්‍රමාණයක රුපියල්මිලියනක් පමණ වැයකර ඉදිකර ඇති එක් නිවසක් නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් සහ වැකිලියකින් මෙන්ම නාන කාමරයකින් ද සමන්විත වේ. එමෙන්ම සෑම නිවසක් සඳහාම ජලය, විදුලිය, මාර්ග පද්ධතිය, ප්‍රජා ශාලාව, අපද්‍රව්‍ය බැහැර කිරිමේ පද්ධතියක් සහ ජල පිරිපහදු යන්ත්‍රයක් වැනි පහසුකම් ද සපයා දී ඇත.

සිකුරාදා දින පැවති මෙම නව නිවාස ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම ව්‍යාපෘතියසංවිධානය කිරීමෙහිලා විශේෂ සහයෝගයක් දැක් වූ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා සහභාගි වූ අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ වකවානුවේ කීරමලේ ව්‍යාපෘතිය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ එම නිවාස ලාභී පවුල්වල සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මීට මාස කිහිපයකට ප්‍රථම ක්‍රියාත්මක කළ කීරමලේ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීම 2016 වර්ෂයේ ඔක්තෝබර් මස දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කළ අතර, එහිදි අවතැන් වූ පවුල් 100 ක් සඳහා නව නිවාස ඉදිකරදෙන ලදි. සංහිඳියාව ඇති කිරිමේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ අරමුණ වනුයේ සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කරන සියලුම අවතැන් වූ පවුල් සඳහා නිවාස පහසුකම් ලබාදීමයි.

ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝෂාන් සෙනෙවිරත්න මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running sport media | Nike Running